Header

Sri Lanka Army

Defender of the Nation

10th February 2022 12:50:47 Hours

කිලිනොච්චියේ ප්‍රජා කාර්යභාරයන් සඳහා ‘මානව හිතවාදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව’ සක්‍රීයව දායක වේ

‘මානව හිතවාදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව’ නම් වැඩසටහන යටතේ ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහකත්වය මත විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 42 ක් සඳහා වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (05) දින කන්නන් දේවස්ථාන පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ ගේ උපදෙස් හා 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ගේ අධීක්‍ෂණය මත 571, 572 සහ 573 වන බලසේනාවන්හී භටපිරිස් විසින් කිලිනගර්, ඉලමන්තලාරු සහ පනික්කුලම් යන ග්‍රාමසේවා වසම්වල ග්‍රාම නිලධාරින් සමඟ සාකච්ඡා කර එම ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් තෝරාගැනීමෙන් අනතුරුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන ලදී.

මෙම වැඩසටහන යටතේ සහල්, පරිප්පු, හාල්මැස්සන්, කිරිපිටි, කුළුබඩු, පෝෂ්‍ය පදාර්ථ, ටින් කළ ආහාර ඇතුළු රුපියල් 2750/= ක පමණ වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සලය බැගින් එම පවුල් වෙත බෙදාදුන් අතර යුද්ධ හමුදාවේ මෙම ප්‍රජාසත්කාරක වැඩසහන අගය කරමින් ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන් කිහිපදෙනෙකු ද මෙම වැඩසටහන සඳහා ස්වේච්ඡාවෙන් සිය දායකත්වය දැක්වූහ.

මෙම අවස්ථාව සඳහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති නියෝජනය කරමින් 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් සී.එම්.ජී.එන්.එස් සමරසේකර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූවේය. තවද, එම අවස්ථාව සඳහා නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් ද එක්ව සිටියහ.