Header

Sri Lanka Army

Defender of the Nation

05th February 2022 22:20:22 Hours

යුද්ධ හමුදාවේ සංවිධායකත්වයෙන් මඩකලපුවේ ගැබිණි කාන්තාවන් 60 දෙනෙකු වෙත පෝෂණ ද්‍රව්‍ය සහ වියළි සලාක අඩංගු පාර්සල් පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකය යටතේ ඇති 231 වන බලසේනාව යටතේ පාලනය වන 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සමාජ සේවා ක්‍රියාකාරිකයෙකුගේ අනුග්‍රහය ඇතිව මඩකලපුව මංගලගම විහාරස්ථානයේදී ඉකුත් බදාදා (2) දින ගැබිණි කාන්තාවන් 60 දෙනෙකු වෙත පෝෂණ ද්‍රව්‍ය සහ වියළි සලාක ඇතුලත් පාර්සලය බැගින් ප්‍රදානය කරන ලදී.

මෙම පරිත්‍යාගශීලි අවස්ථාව සඳහා 23 වන සේනාංකයේ සහ 231 වන බලසේනාවේ ආරාධනයෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

මනෝවිද්‍යා කථිකාචාර්ය දුලංජි චමල්කා මහත්මිය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහකත්වය ලබා දුන් අතර 135/ඒ ගැමුණුපුර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන් සමඟ සාකච්ඡා කර මෙම වැඩසටහන සදහා ප්‍රතිලාභීන් තෝරාගන්නා ලදී.

තවද එම අවස්ථාව සඳහා 23 වන සේනාංකයේ සේනාංකාධිපති, 231 වන බලසේනාවේ බලසේනාධිපති සහ 11 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.