Header

Sri Lanka Army

Defender of the Nation

05th February 2022 22:15:24 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම නිලධාරීන් තුවාල ලැබූ ප්‍රංශ සංචාරකයාගේ සුවදුක් විමසීමට රෝහලට යයි

බදුල්ල බලා ධාවනය වූ දුම්රියේ ගමන් කරමින් සිටි ප්‍රංශ ජාතික සංචාරක කාන්තාවක් ඔහිය සහ ඉදල්ගස්හින්න අතර 32 වන උමං ප්‍රදේශය අසලදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කරමින් සිටියදී ඉකුත් බ්‍රහස්පතින්දා (3) දින හදිසි අනතුරකට ලක්විය. මෙම සිදුවීම සැලවීමෙන් පසු දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු ඉකුත් සෙනසුරාදා (05) දින එම විදේශ කාන්තාව ප්‍රතිකාර ලබමින් සිටින දියතලාව මූලික රෝහල වෙත ගොස් ඇයගේ සුවදුක් විමසා සිටියේය.

හිසට සහ පාදවලට තුවාල සිදුව තිබු 26 හැවරිදි සැලේන් සොලනේ (Salene Solanae) මහත්මියගේ සුවදුක් විමසීම සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වාගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම කර්නල් සම්බන්ධීකරණ කර්නල් කුමුදු වඩුගොඩ සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම සිවිල් සම්බන්ධීකරණ නිලධාරි මේජර් අසිත රණතිලක රෝහල වෙත ගොස් සුවදුක් විමසුවේය. ඇය ප්‍රථමයෙන් හපුතලේ මූලික රෝහලට ඇතුළත් කළ නමුත් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහල වෙත මාරුකර යවා ඇත.

රෝහල වෙත පැමිණි නිලධාරීන් දෙදෙනා විදේශීය කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සොයා බලමින්, ඇයගේ ප්‍රතිකාර කටයුුතු සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට පොරොන්දු වෙමින් ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළහ. එහිදි තමන් වෙත දක්වනු ලැබු සහයෝගය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සහ පොදුවේ ශ්‍රී ලාංකිකයන් වෙත සිය ස්තූතිය පළ කළ ප්‍රංශ ජාතික කාන්තාව රෝහල තුළ ඇය රැඳී සිටීම සහ එම නිලධාරීන්ගේ පැමිණීම සංකේතවත් කරමින් ඔවුන් සමඟ ඡායාරූපයකට ද පෙනී සිටියහ.