Header

Sri Lanka Army

Defender of the Nation

04th February 2022 13:02:25 Hours

රන් පදක්කම්ලාභී මුෂ්ටි ප්‍රහාරක ක්‍රීඩිකාව වෙත උණුසුම් පිළිගැනීමක්

පසුගිය දා පාකිස්තානයේ ලාහෝර් නුවරදී පැවති මුෂ්ටි ප්‍රහාර තරඟාවලිය සඳහා සහභාගී වී රන් පදක්කමක් දිනාගත් කරිපද්දමුරිප්පු රජයේ දමිල පාසලේ ඉගෙනුම ලැබූ ගනේෂා ඉන්දිකාදේවි සිසුවිය පසුගිය අඟහරුවාදා (01) දින නැවත මෙරටට පැමිණි අතර ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංක මූලස්ථානය වෙතින් ඇය වෙත උණුසුම් පිළිගැනීමක් ලබාදුන්නාය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 642 වන බලසේනා බලප්‍රදේශයේ පදිංචිව සිටින මෙම සිසුවිය එම තරඟාවලිය සඳහා සහභාගී වූ මුෂ්ටි ප්‍රහාරක ක්‍රීඩකයින් 25 කට අධික සංඛ්‍යාවක් සමඟින් තරඟවැදී රන් පදක්කමක් දිනාගනිමින් රටටත්, එම පාසලටත් ගෞරවයක් හා කීර්තියක් අත්කරදෙන ලදී.

642 වන බලසේනාවේ භටපිරිස් විසින් ගනේෂා ඉන්දිකාදේවි සිසුවිය පිළිගැනීම සඳහා රථ පෙළපාලියක් සංවිධානය කර තිබූ අතර එම රථ පෙළපාලිය තුලින් එම සිසුවියගේ පාසල වන කරිපද්දමුරිප්පු රජයේ දමිල පාසල් පරිශ්‍රය වෙත ඇය කැඳවාගෙන එන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.ඩී. සූරියබණ්ඩාර සහභාගී වූ අතර එම පාසලේ විදුහල්පති, ගුරුවරුන්, දෙමව්පියන් සහ ගනේෂා ඉන්දිකාදේවි සිසුවියගේ ඥාතීන්, මිතුරන් ඇතුළු තවත් ආරාධිතයින් පිරිසක් සහභාගී වූහ. මෙම උත්සවයේදී ඇය වෙත සංකේතාත්මක තිළිණ කිහිපයක් ද ප්‍රදානය කෙරිණි.

642 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජී.ඩී.එස්.එම්. අල්විස් ගේ අධීක්‍ෂණය යටතේ 23 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම පිළිගැනීමේ උත්සවය සංවිධානය කරන ලදී.

මෙම මුෂ්ටිප්‍රහාර තරඟාවලිය මුෂ්ටි ප්‍රහාර ක්‍රීඩකයින් රැසකගේ සහභාගිත්වයෙන් 2022 ජනවාරි මස 13 දින සිට 19 දින දක්වා පාකිස්තානයේ ලාහෝර් නුවරදී පැවැත්විණි.

සෞඛාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම උත්සවය සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් වසන්ත පාලමකුඹුර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගි වූහ.