Header

Sri Lanka Army

Defender of the Nation

04th February 2022 15:30:52 Hours

74 වන ජාතික නිදහස් දිනය මහත් අභිමානයෙන් යුතුව උත්සවශ්‍රියෙන් සමරයි

මවුබිමේ සෞභාග්‍යය, සාමය, සංහිඳියාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ අධීෂ්ඨානශීලී කැපවීම තවදුරටත් පිළිබිඹු කරමින් ‘අභියෝග ජයගත් අසිරිමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මවුබිමක්’ යන තේමාව පෙරටු කරගනිමින් 74 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (04) දින උදෑසන නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි. එම අවස්ථාව සඳහා භික්‍ෂූන් වහන්සේලා ප්‍රමුඛ ආගමික පූජකවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, අමාත්‍යවරුන්, ආරක්‍ෂක හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රාජ්‍ය හා සිවිල් සම්භාවනීය අමුත්තන් සහ තවත් ආරාධිතයින් රැසක් ද සහභාගී වූහ.

74 වන ජාතික නිදහස් සැමරුම් උත්සවය සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් සහ එතුමන්ගේ භාර්යාව වන ශිරන්ති රාජපක්‍ෂ මැතිණිය සහභාගී වීමෙන් අනතුරුව උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සහ ජනාධිපති ආර්යා අයෝමා රාජපක්‍ෂ මැතිණිය මෙම අවස්ථාවට සහභාගී වූහ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කථානායක, අගවිනිසුරු, රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යතුමන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමන්, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්, පොලිස්පතිතුමන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු තවත් සම්භාවනීය ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙන් සිකුරාදා (04) දින උදෑසන 07.56 ට උත්සවයේ ආරම්භය සනිටුහන් විය.

කොවිඩ් - 19 වසංගතයේ පැතිරීම හේතුවෙන් පවතින සෞඛ්‍ය අවධානම මධ්‍යයේ වුවද ජාතියට එල්ල වන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් සරල, සංක්‍ෂිප්ත බව සහ වර්ණවත් බව පෙන්නුම් කරමින් මෙවර නිදහස් දින සැමරුම අභිමානවත් අයුරින් පවත්වන ලදී.

එහිදී, ගරු අග්‍රාමාත්‍යතුමන් සහ රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යතුමන් විසින් මෙම අවස්ථාවට සහභාගී වූ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සහ ජනාධිපති ආර්යා අයෝමා රාජපක්‍ෂ මැතිණිය උණූසුම් අයුරින් පිළිගනු ලැබූහ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පරිවාරක ධාපැදි ඛණ්ඩය පෙරටු කරගනිමින් පොලිස් නිලධාරින් සමඟ අතිගරු ජනාධිපතිතුමන් ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සඳහා සහභාගී වීමෙන් අනතුරුව හොරණෑ වාදනයන් මධ්‍යයේ පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හා ගුවන් හමුදාධිපතිවරු සහ පොලිස්පති විසින් අතිගරු ජනාධිපතිතුමන් ධජ එසවීමේ පිඨිකාව වෙත කැටුව ගියහ. එහිදි, මඟුල් බෙර වාදන සහ සංඛ නාද මධ්‍යයේ අතිගරු ජනාධිපතිතුමන් ජාතික ධජය එසවූ අතර එහිදි බස්නාහිර පළාතේ පාසල් අතරින් තෝරාගත් පාසල් සිසු සිසුවියන් 45 දෙනෙකු ජාතික ගීය ගයනා කළහ.

ඉන් අනතුරුව, මව්බිම සහ ජාතිය ආරක්‍ෂා කිරීමේ උදාර අරමුණ පෙරදැරීව රට වෙනුවෙන් දිවිපිදූ සියලු දේශප්‍රේමීන් සහ විරෝදාර රණවීරුවන් සිහිපත් කරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීය. පසුව, පාසල් සිසුවියන් කණ්ඩායමක් විසින් ‘ජයමංගල ගාථා’ සහ ‘දේවෝ වස්සතු කාලේන’ ශ්ලෝකය ගායනා කරමින් අතිගරු ජනාධිපතිතුමන් වෙත ආශිර්වාද කළහ.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව විසින් චාරිත්‍රානුකූලව කාලතුවක්කු වෙඩි මුර 21 ක් ගුවනට මුසුකරමින් ත්‍රිවිධ හමුදා සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමා වෙත පුද කරනු ලැබීය. ඉන් අනතුරුව, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් ජාතිය අමතා සිය දේශනය සිදුකරන ලදී. (අතිගරු ජනාධිපතිතුමා විසින් සිදුකළ දේශණය උණුසුම් පුවත් තුලින් නරඹන්න)

අතිගරු ජනාධිපතිතුමන් ජාතිය ඇමතීමෙන් අනතුරුව ත්‍රිවිධ හමුදා නිලධාරින්, සෙසු නිලයන්, පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්, සිවිල් ආරක්‍ෂක බළකායේ සාමාජිකයින්, ජාතික ශිෂ්‍යභට බලකායේ සාමාජිකයින් සහ සේවයේ නිරතව සිටින සහ විශ්‍රාමික රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගෙන් සැදුම්ලත් වර්ණවත් පෙළපාලියේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කළ මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා විසින් හමුදා සම්ප්‍රදායානූකූල සම්මාන ආචාර පෙළපාලියේ ඉදිරි වැඩකටයුතු කරගෙන යෑම සඳහා අතිගරු ජනාධිපතිතුමන්ගෙන් අවසර ලබාගන්නා ලදී.

74 වන නිදහස් දින පෙළපාලියේ අභිමානවත් බව තවදුරටත් පිළිබිඹු කරමින් එම පෙළපාලිය සඳහා යුද්ධ, නාවික හා ගුවන් හමුදාවන් නියෝජනය කරමින් ගොඩබිමෙහි මෙන්ම ජලයේ ද සිදුකරනු ලබන ක්‍රියාන්විතයන් සඳහා භාවිතා කරනු ලබන සන්නද්ධ රථ රැසක් එක්කර තිබිණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මේ වනවිට අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි විද්‍යුත් හා යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍ර, කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය, කොවිඩ් - 19 වසංගතය පැතිරීම වැළැක්වීමේ කටයුතු යනාදී ක්ෂේත්‍ර සඳහා සිය දායකත්වය දක්වමින් දැවැන්ත කාර්යභාරයක නිරතව සිටින අතර ජාතියේ ප්‍රගතිය වෙනුවෙන් කැපවී සිටින සේවා සපයන්නා වේ.

යුද්ධ හමුදා සාමාජිකයින් විසින් නිෂ්පාදනය කරනු ලැබූ නව යුනිකෝබ් (Unicorb) රථය ද ප්‍රථම වරට මෙවර නිදහස් දින පෙළපාලියට එක්වූ අතර තවත් සන්නද්ධ රථ රැසක් ද නිදහස් දින පෙළපාලිය සඳහා එක්කර තිබිණි. එම රථවලින් බොහෝමයක් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා භටපිරිස් විසින් දේශීයව නිෂ්පාදනය කරනු ලැබූ සන්නද්ධ රථ වන අතර ඒ තුලින් රටට විශාල වශයෙන් විදේශ විනිමය ද ඉතිරි කර දී තිබේ. එමෙන්ම, අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව පසුගිය දා යුද්ධ හමුදාව තුල ස්ථාපිත කරනු ලැබූ කෘෂිකාර්මික බලසේනාව ද හරිත කෘෂිකාර්මික ජාතික ව්‍යාපෘතිය මෙහෙයවීම සඳහා පුරෝගාමීව කටයුතු කරමින් මහා පරිමාන කෘෂිකාර්මික කටයුතු සඳහා අවතීර්ණ වෙමින් සිටියි.

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය වෙතින් නිෂ්පාදනය කරනු ලැබූ ‘යුනි බෆල්’ Mark II (Uni Buffel), ‘යුනි ඇවලන්’ (Uni Avalon) රථ සහ අති නවීන බිම්බෝම්බ ප්‍රතිරෝධක ආරක්‍ෂක රථය වන ‘යුනිකෝබ්’ (Unicorb) රථය ද මෙම පෙළපාලියේදී ප්‍රදර්ශනය කරන ලදී. මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ගුවන් හමුදාවේ භටපිරිස් විසින් ගුවන් සංදර්ශණයක් ද පවත්වනු ලැබිණි.

ජෛව බුබුල ක්‍රමවේදයට අනුකූලව පැවැත්වුණු මෙම පෙළපාලිය සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සහභාගී වූ නිලධාරින් සහ සෙසු නිලයින් 6500 ක පිරිසක් විසින් සිය ගෞරවාචාරයන් සන්නද්ධ හමුදා සේනාධිනායක හා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් වෙත පුදකළහ. පෙළපාලිය වර්ණවත් කරමින් පාසල් සිසු සිසුවියන් සහ ජාතික ශිෂ්‍යභට බලකායේ සාමාජිකයින් ද මෙම අවස්ථාවට එක්වූහ.

එමෙන්ම, මෙම අවස්ථාව සඳහා ප්‍රකට කලාකරුවන් 431 ක් දෙනෙක් කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් සිසු සිසුවියන් ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශයන් නියෝජනය කළ සංස්කෘතික නර්තන කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ලද නර්තන අංගයන් සහිත සංස්කෘතික පෙළපාලියෙන් නිදහස් දින සැමරුම වඩාත් විචිත්‍රවත් විය. සෞඛ්‍යාරක්‍ෂිත හේතූන් මත සීමිත ප්‍රේක්‍ෂකයින් පිරිසකට පමණක් ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සියැසින් දැකබලාගැනීම සඳහා සහභාගී කරගැනීමට හැකියාව ලැබුනු අතර සියලුම රූපවාහිනි නාලිකා ඔස්සේ ප්‍රේක්‍ෂකයින් වෙත මෙවර ජාතික නිදහස් දින සැමරුම් උත්සවය නැරඹීමේ හැකියාව ලැබිණි. ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නාවික හමුදාවේ භටපිරිස් විසින් ගජබාහු නම් නෞකාවේදී සිකුරාදා (04) දින මධ්‍යහන 12.00 ට වෙඩිමුර 25 ක් තබමින් ජාතියට උත්තමාචාරය පුදකළහ.

74 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මැතිණිය විසින් ‘ජාතියේ පියා’ වශයෙන් විරුධාවලියට පාත්‍ර වූ ගරු ඩී.එස්. සේනානායක මැතිතුමන්ගේ පිළිරුවට මල් වඩමක් තබමින් පුෂ්පෝපහාර දක්වන ලදී. මෙම සැමරුම් උත්සව මාලාවේ ආරම්භය සනිටුහන් කරමින් පසුගිය බ්‍රහස්පතින්දා (03) දින රාත්‍රියේ කොළඹ 07, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පැවති අතර අද (04) දින උදෑසන භික්‍ෂුන් වහන්සේලා විෂයෙහිලා හීල් දානයද පූජා කරන ලදී.

නිදහස් දින සැමරුමට සමගාමීව බෞද්ධ ආගමික වතාවත්, හින්දු ආගමික වතාවත්, ඉස්ලාමීය යාඥාවන්, කතෝලික සහ ක්‍රිස්තියානි දේව මෙහෙයන් ද කොළඹ ප්‍රදේශයේ පූජ්‍යස්ථානයන්හිදී පැවැත්විණි.