Header

Sri Lanka Army

Defender of the Nation

04th February 2022 13:05:25 Hours

උසස්වීම් ලද මේජර් ජෙනරල්වරුන්ට යුද්ධ හමුදාධිපතිතුමන් නිල ලාංඡන පළඳවයි

74 වන නිදහස් දිනයට සමගාමීව මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු යුද්ධ හමුදාවේ බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 07 දෙනෙකු වෙත ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී අද (03) දින පස්වරුවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් නිල ලාංඡන පැළඳවිය.

ඒ අනුව, ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සේනාවිධායක ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරල් මහේන්ද්‍ර ප්‍රනාන්දු, පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් උදය කුමාර, යුද්ධ හමුදා මූලස්ථානයේ සමස්ථ ආරක්‍ෂක සම්බන්ධීකරණ නිලධාරි ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ලාල් විජේතුංග, 52 වන සේනාංකයේ සේනාංකාධිපති ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් සමන්ත වික්‍රමසේන, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් දීපාල් හතුරුසිංහ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ මේජර් ජෙනරල් චානක මෙත්තානන්ද සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ මේජර් ජෙනරල් නලින්ද නියංගොඩ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් නිල ලාංඡන පැළඳවිය.

වෘත්තීය දිවියේ අනාගත කටයුතු වෙනුවෙන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නව මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද නිලධාරින් වෙත සිය සුභපැතුම් පිරිනමන ලදී. ඉන් අනතුරුව, නව මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත නිල ලාංඡන පැළඳවීමෙන් අනතුරුව සංකේතාත්මක අසිපතක් ද ඔවුන් වෙත පිරිනමනු ලැබීය.

ඉන් අනතුරුව, උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් අමතමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෘත්තීය දිවිය තුළ දැක්වූ කැපවීම, ජාතික ආරක්‍ෂාව සහ ජාතිය ගොඩනැංවීම වෙනුවෙන් දැක්වූ දායකත්වය ඇගයීමට ලක්කරමින් ඔවුන් වෙත මෙම උසස්වීම් ලබාදුන් බව ප්‍රකාශ කරන ලදී.

ඔවුන්ගේ නිල උසස්වීම් ලබාදීම සිදුවූයේ ජ්‍යෙෂ්ඨත්වය මත පමණක් සලකා නොවන බවත් කුසලතා හා නිශ්චිත කාර්යසාධන ප්‍රතිපත්තීන්ට අනුකූලව බවත් “වර්ෂ 2009 මැයි මාසයට පෙර පැවති මානුෂීය මෙහෙයුම සඳහා දැක්වූ දායකත්වය, මාණ්ඩලික රාජකාරීන්, උපදේශකවරුන්, අධ්‍යක්‍ෂවරුන්, අණදෙන නිලධාරින් ලෙස වගකීම් ඉටුකළ ආකාරය මත පදනම්ව බව” යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කරන ලදී.

තවදුරටත් අදහස් දක්වමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා “ ‘මේජර් ජෙනරල්’ නිලය තම වෘත්තීය දිවියේ ලැබිය හැකි ඉහළම තනතුරක් වන අතර එම නිලයේ රාජකාරි ඉටුකිරීමේදී නිසි ගෞරවයෙන් සහ වගකීමෙන් කටයුතු කළයුතු බවත්” ප්‍රකාශ කරන ලදී.