Header

Sri Lanka Army

Defender of the Nation

06th February 2022 14:33:02 Hours

යුද විරුවන්ගේ අතීත මතකයන් නව පරපුරට ආදර්ශයක් විය යුතු බව යුද්ධ හමුදාධිපතිතුමන් පවසයි

“සියලු අභියෝගයන් නොතකා එකම ජාතියක් ලෙස දේශයේ සියලුම ජනවර්ගවල සාමූහික උත්සහයන් අපගේ නිදහස වෙනුවෙන් අරගල කළ බව” ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් නිකුත් කළ නිදහස් දින විශේෂ පණිවිඩයේ සඳහන් වේ.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කළ සම්පූර්ණ නිදහස් දින පණිවුඩය පහතින් දැක්වේ:

“වර්ෂ 1948 වූ පෙබරවාරි මස 4 වන දින බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් ශ්‍රී ලංකා දීපය නිදහස ලබාගෙන වසර 74 ක් සම්පූර්ණ වන අද දිනයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති වශයෙන් පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම මහත් අභිමානයක් ලෙස සලකමි.

වර්ෂ 1505 සිට වර්ෂ 1948 දක්වා පෘතුග්‍රීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසින් යන විදේශ ආක්‍රමණික පාලනයට නතුව සිටි ශ්‍රී ලාංකිකයින් නිදහස දිනාගැනීම සඳහා සියවස් හතරකට අධික කාලසීමාවක් සිදුකරනු ලැබු අරගලය හා කැපකිරීම දේශාභිමානයෙන් සිහිපත් කිරීමට කැමැත්තෙමී. එසේම, වර්ෂ 2009 මැයි මාසයට ප්‍රථම පැවති මානුෂිය මෙහෙයුමේදී උත්තරීතර පරිත්‍යාගයන් සිදුකර රණක්‍ෂිතයට පත් විරෝදාර රණවිරුවන් හා මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් හට නිවන් සුව ලැබේවායිද ප්‍රාර්තනා කරමී.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස දිනාගැනීම පහසු කාර්යයක් නොවු අතර, එය සියලු ජාතීන් එක්ව අඛණ්ඩව දියත්කළ ජාතික අරගලයන් ආගමික, දේශපාලන ව්‍යාපාර හා සමාජීය බලපෑම් මත ලැබු විජයග්‍රහණයක් විය. එවකට බ්‍රිතාන්‍ය පාලකයින් සතුව පැවති නවීන අවි ආයුධ හා යුද දැනුම අභිබවා යන යුද ඥානයක් හා උපක්‍රමශිලීත්වයක් ද රණකාමීත්වයක්ද ලාංකික ජාතික විරුවන් සතුව පැවතීම වර්ථමානයට ද ආදර්ශයක් ගෙනදෙන බව අභිමානයෙන් සිහිපත් කරමී. බොහෝ පරිත්‍යාගයන් හා කැපකිරීම් මතින් අප උදාකරගත් නිදහස ඉදිරියට පවත්වාගෙන යාම සඳහා විරෝදාර රණවිරුවන් වන ඔබගේ නිරන්තර කැපවීම අත්‍යවශ්‍ය බව මම අවධාරණය කරමී.

ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමේ ප්‍රමුඛ වගකීම ඉටුකරන අතරතුර රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත හා දේපල සුරක්‍ෂිත කිරීම වෙනුවෙන්, ඇතිවිය හැකි හදිසි ආපදාවන් හා ජාතික ව්‍යසනයන්හීදි පුරවැසියන්ට සහයවීමේ විශේෂ වගකීමක්ද යුද්ධ හමුදාව සතු බව සිහිපත් කරමී. ගෙවීගිය වසර දෙකකට අධික කාලසීමාවක් මුළුමහත් ලෝකය මෙන්ම ශ්‍රී ලාංකිකයන් පීඩාවට පත්කළ කොවිඩ්-19 වසංගතයෙන් රටවැසියන් මුදාගැනීම සඳහා එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඇතුලු අනෙකුත් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකාව සෞඛ්‍යමය වශයෙන් සුරක්‍ෂිත බවට පත්කිරිමේ ප්‍රයත්නනයේදී සියලු යුද්ධ හමුදා සාමාජිකයින් දැක්වූ දායකත්වය ද මෙම සුවිශේෂී දිනයේදී කෘතවේදීව සිහිපත් කිරීමට කැමැත්තෙමී.

එසේම, ශ්‍රී ලාංකික ජන සමාජයේ නිදහස් පැවැත්මට බාධා ගෙනදුන් නීති විරෝධි කණ්ඩායම්වල ක්‍රියාකාරකම්, මත් උවදුර හා වෙනත් සමාජ වීරෝධී ක්‍රියාමාර්ග පාලනය කිරීම සඳහා ගෙන යන ජාතික වැඩපිළිවෙලට යුද්ධ හමුදා සාමාජිකයින් දක්වන දායකත්වය සැමගේ පැසසුමට ලක්වී තිබෙන බවද සිහිපත් කරමී. එසේම, ජාතික සංවර්ධන ක්ෂේත්‍රයේ පුරෝගාමීන් ලෙස යුද්ධ හමුදා සාමාජිකයින්ගේ කැපවීම සහ අසමසම කාර්යභාරයන් සමඟින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අද්විතීය ප්‍රජා සේවයක් ඉටුකරමින් ජාතික ආරක්‍ෂාව පිළිබඳ සිය කැපවීම අඛණ්ඩව නැවතත් තහවුරු කරයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රණවිරුවන්ගේ අද්වීතීය කැපකිරීම අගයමින් නිත්‍ය හා ස්වේච්ඡා බලසේනාවන්හී පැවති නිල සංයුතියන් නැවත සමාලෝචනයට ලක්කර කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් සුදුසුකම් සපුරා සිටි නිලධාරීන් 3861 දෙනෙකුට හා සෙසුනිලයින් 78707 දෙනෙකුට නිල උසස්වීම් හිමිකරදීමට පසුගිය කාලසීමාවේදී හැකීවීම සතුටට කරුණක් බව සිහිපත් කරමී. එහි තවත් පියවරක් ඉදිරියට තබමින් 74 වන නිදහස් දිනයට සමගාමීව තවත් නිලධාරීන් 480 දෙනෙකුට සහ සෙසුනිලයින් 8034 කට නිල උසස්වීම් ලබාදීමට ක්‍රියාකර තිබෙන බවද අභිමානයෙන් යුතුව සඳහන් කිරීමට කැමැත්තේමී.

මාතෘභූමියේ නිදහස වෙනුවෙන් ජීවිත පරිත්‍යගයෙන් කැපවුණු සියලු ජාතික විරුවන් වසරක් පාසා ජාතික නිදහස් දිනයේදී අභිමානයෙන් සැමරීම සමස්ථ ශ්‍රී ලාංකිකයින් සතු උතුම් ගුණාංගයකි. එසේම, රජය සතු යුද ශක්තිය, සංස්කෘතිය, එකමුතුභාවය සහ අභිමානය ලොවට ප්‍රදර්ශනය කිරීමේ ප්‍රධානතම උත්සවය වන්නේද නිදහස් දින සැමරුම් උත්සවයයි. 74 වන ජාතික නිදහස් දින සැමරුම වත්මන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී අභිමානවත්ව සැමරීමට සමගාමීව ඔබ රාජකාරී කරනු ලබන ස්ථානයේදී ජාතික නිදහස් දිනය අර්ථවත් ලෙස සැමරීම සඳහා ඔබද එක්වනු ඇතැයි මා විශ්වාස කරමී.

තවද, රටේ සාමය සහ සංහිඳියාව ඇති කිරීම සඳහා උත්තරීතර ජීවිත පරිත්‍යාගයන් කටයුතු කළ යුද්ධ හමුදාවේ සියලුම නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ට නිවන් සැප ලැබේවායි මා ප්‍රාර්ථනා කරමි. මෙහෙයුම් වලදී ආබාධයන්ට ලක්ව තවමත් සුවය ලබමින් සිටින සහ පුනරුත්ථාපන කටයුතුවල නිරතව සිටින සියලුම රණවිරුවන්ට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. එමෙන්ම, 74 වන නිදහස් දිනයේදී සේවයේ නියුතු සියලුම යුද්ධ හමුදා සාමාජිකයින්ට මෙන්ම සිවිල් කාර්ය මණ්ඩලයටත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ටත් සාමය හා සතුට ප්‍රාර්ථනා කරමි.”

ඔබ සැමට විජයග්‍රාහී අනාගතයක් උදාවේවා !! අවසන්.