Header

Sri Lanka Army

Defender of the Nation

04th February 2022 00:21:38 Hours

නිදහස් දින පෙළපාලිය සඳහා සහභාගී වන්නන් වෙත පාන වර්ග බෙදාදීමේ අවස්ථාවට යුද්ධ හමුදාධිපති සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය එක්වෙයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් සිදුකරනු ලබන සුබසාධන වැඩසටහන්වල තවත් එක් අදියරක් ලෙස එළඹෙන සිකුරාදා (04) දින පැවැත්වීමට නියමිත 74 වන ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලියේ අවසන් පෙරහුරුවට සහභාගී වන සියලු දෙනා වෙනුවෙන් පාන වර්ග බෙදාදීමේ වැඩසටහනක් Sunquick Lanka Private Limited සහ Pure Dale Ceylon Company Ltd යන සමාගම් සමඟ එක්ව පසුගිය දා ආරම්භ කරන ලදී. අද (03) දිනයේදී අඛණ්ඩව 06 වන දිනටත් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සමඟින් එක් වූ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය සුජීවා නෙල්සන් මැතිණිය ද පාන වර්ග බෙදාදීම සදහා සිය දායකත්වය දැක්වූවාය.

නිදහස් දින පෙළපාලියේ අවසන් පෙරහුරු පෙළපාලිය අද (03) දින පැවති අතර එම අවස්ථාවට එක් වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම කටයුතු අවසන් වීමෙන් අනතුරුව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන සමඟින් එක් වූ අතර එම පරිශ්‍රයේ සිටි ත්‍රිවිධ හමුදා භටපිරිස්, කාන්තා සෙබලියන්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්, ජාතික ශිෂ්‍යභට බලකායේ සාමාජිකයින්, සිසු සිසුවියන් සහ කලාකරුවන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගන්නා ලදී.

මෙම වැඩසටහන සඳහා සහභාගි වූ සියලුදෙනා සමඟ අදහස් හුවමාරු කරගත් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සුජීවා නෙල්සන් මැතිණිය නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්වීම සම්බන්ධව අදාළ කරුණු සාකච්ඡා කරන ලදී.

74 වැනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලියේ පෙරහුරු පෙළපාලිය සඳහා සහභාගි වන ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලිස් නිලධාරින්, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්, ජාතික ශිෂ්‍යභට බළකායේ නිලධාරින් ඇතුළු සියලු දෙනාගේ සුබසාධන කටයුතු පිළිබඳ සැලකිලිමත් වන යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය Sunquick Lanka Private Limited සහ Pure Dale Ceylon Company සමාගම්හී අනුග්‍රාහකත්වය හා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සම්බන්ධීකරණය මත ජනවාරි මස 29 දින මෙම වැඩසටහන ආරම්භ කරන ලදී.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ බ්‍රිගේඩියර් තුෂාර බාලසූරිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු මෙම වැඩසටහන ක්‍රියාත්මක වූ පසුගිය දින කිහිපය තුළ එම කටයුතු සඳහා සිය දායකත්වය දැක්වූහ.