Header

Sri Lanka Army

Defender of the Nation

02nd February 2022 08:00:31 Hours

විශ්‍රාමික රණවිරුවන්ගේ සුබසාධක ගැටළු පිළිබඳ සාකච්ඡාවක්

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුබසාධක කටයුතු සඳහා පවතින ගැටළු සහ ඒ වෙනුවෙන් ගතයුතු විසඳුම් පිළිබඳ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී ඉකුත් බදාද (26) දින එක්දින උපදේශන වැඩමුළුවක් පවත්වන ලදී. මෙම සාකච්ඡාව සඳහා පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලය, වැටුප් හා ලේඛන අධ්‍යක්‍ෂ මණ්ඩලය, යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය, සුභසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය, රණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය, නීති සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය, යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය, යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය නියෝජනය කරමින් නියෝජිතයින් සහභාගී වූහ.

මෙම වැඩමුළුව පැවැත්වීම සඳහා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් තුෂාන් සේනාරත්න මූලිකත්වය ගෙන කටයුතු කළ අතර අදාළ අංශ නියෝජිතයින් සහ විශ්‍රාමික රණවිරුවන් පිරිසක් ද වැඩමුළුව සඳහා සහභාගී වූහ. මෙම සාකච්ඡාවේදී, ඒ වෙනුවෙන් සහභාගි වූවන් ඉදිරිපත් කළ ගැටළු පිළිබඳ අවධානය යොමු කරන ලද අතර යුද්ධ හමුදාවේ විවිධ අධ්‍යක්‍ෂ මණ්ඩල නියෝජනය කරමින් සහභාගී වූවන් එම ගැටළු සඳහා ගතයුතු ක්‍රියාමාර්ගයන් ඉදිරිපත් කරන ලදී.

පැය පහකට අධික කාලයක් පැවති මෙම සාකච්ඡාව සඳහා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී. ඩී. ඒ. ජී. සේනාධීර සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද එක්වූහ.