Header

Sri Lanka Army

Defender of the Nation

02nd February 2022 10:36:31 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ භටපිරිස් තවත් නවීන සන්නද්ධ රථයක් නිෂ්පාදනය කරයි

යුද්ධ හමුදාවේ ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ ට සමගාමීව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ යාන්ත්‍රික හා තාක්‍ෂණික විශේෂාඥතාවයෙන් හෙබි භටපිරිස් විසින් නිෂ්පාදනය කළ ‘යුනිකොබ්’ (Unicob) නම් අති නවීන බිම්බෝම්බ ප්‍රතිරෝධක ආරක්‍ෂක රථය (Mine-Resistant Ambush-Protected Vehicle) සඳුදා (31) දින යුද්ධ හමුදා මූලස්ථානය වෙත රැගෙන එන ලදී. එම රථය නිදහස් දින පෙළපාලියේ ප්‍රදර්ශනය කිරීමට ප්‍රථම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත ඉදිරිපත් කරන ලදී.

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ නිර්මාණාත්මක කුසලතාවයන් සඳහා නව මුහුණුවරක් ගෙනදෙමින් නිෂ්පාදනය කරනු ලැබූ ඩීසල් භාවිතා කරමින් ධාවනය කරනු ලබන සිලින්ඩර හයකින් සමන්විත යුනිකොබ්-එම්ආර්ඒපී (Unicob- MRAP) රථය යුද්ධ හමුදාවේ භාවිතයෙන් ඉවත්කරනු ලැබූ එන්ජින්, අමතර කොටස් සහ චැසි භාවිතා කරමින් නිෂ්පාදනය කර ඇත.

සැහැල්ලු සන්නද්ධ රථ කාණ්ඩය යටතේ නිෂ්පාදනය කරනු ලැබූ මෙම යුනිකොබ්-එම්ආර්ඒපී (Unicob- MRAP) රථය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය විසින් සිදුකරනු ලබන ක්‍රියාන්විතයන් තවදුරටත් කාර්යක්‍ෂම කිරීම සඳහා බෙහෙවින් ඉවහල් වනු ඇත.

යුනිකොබ්-එම්ආර්ඒපී (Unicob- MRAP) රථය පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව එම රථය සඳහා භාවිතා කර ඇති යාන්ත්‍රික හා ඉංජිනේරු තාක්‍ෂණික ක්‍රමවේදයන් වන දුෂ්කර භුමියක භාවිතා කිරීමේ හැකියාව, විදේශීය වෙළඳපොල සඳහා මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමේ හැකියාව, රථයේ ධාවනය ඇතුලු අනෙකුත් හැකියාවන් පිළිබඳ පරික්‍ෂා කර බැලූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ භටපිරිස්හී ශ්‍රම දායකත්වය, ඒ පිළිබඳ ඔවුන් සතු විශේෂඥතාවය සහ නිර්මාණාත්මක හැකියාවන් ඇගයීමට ලක්කරන ලදී.

මෙම රථය නිෂ්පාදනය කිරිම සඳහා අවැසි මඟපෙන්වීම මෙන්ම අඛණ්ඩ දිරිගැන්වීම් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක හා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන ආඥාපති මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් සමඟ එක්ව 61 වන සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් දීපාල් හතුරුසිංහ සහ සන්නාහ සන්නද්ධ බලසේනාවේ සේනාවිධායක බ්‍රිගේඩියර් අනිල් පීරිස් විසින් ලබාදුන්හ.

දේශීයව නිෂ්පාදනය කරන ලද මෙම යුනිකොබ්-එම්ආර්ඒපී (Unicob- MRAP) රථය තුළ සොල්දාදුවන් 9 දෙනෙකු සඳහා ඉඩකඩ පවතින අතර එම රථය ආනයනික සන්නද්ධ පිරිස් ප්‍රවාහක රථ සමඟින් සසඳන විට බොහෝ විශේෂාංග වලින් සමන්විත වේ. මෙම නව රථය 12.7 මැෂින් තුවක්කුවක් (Machine Gun), මාර්ගයේ මෙන්ම මාර්ගයෙන් පිටත ගමන්කළ හැකි 4 x 4 වර්ගයේ ධාවන පහසුකම සහිත වීම, සියලුම දිශාවන් නිරීක්‍ෂණය කිරීමේ හැකියාව සහිත කැමරා පද්ධතියක්, සටන් බිමෙහි සිදුවන ක්‍රියාකාරකම් පටිගත කළහැකි කැමරා පද්ධතිවලින් සහ GPS තාක්‍ෂණයෙන් යුක්ත වීම, දිගුදුර සන්නිවේදන හැකියාව, දේශීයව මිලදීගත හැකි අමතර කොටස් සමඟ අඩු නඩත්තු වියදම, අඩු නිෂ්පාදන පිරිවැය, වායු සමීකරණ පද්ධතිය ඇතුළු බොහෝ විශේෂාංගයන්ගෙන් සමන්විත වේ. මෙම නව රථයේ සම්පූර්ණ නිෂ්පාදන පිරිවැය රුපියල් මිලියන 10 ක් වන අතර සන්නද්ධ රථයක් ආනයනය කිරීමට වැයවන පිරිවැයට සාපේක්‍ෂව එය ඉතා අඩු පිරිවැයකි.

යුද්ධ හමුදාව වෙතින් එක්සත් ජාතින්ගේ දූත මණ්ඩල රාජකාරි සඳහා පසුගිය කාලය තුළ යුනිබෆල් (Unibuffels) වැනි රථ නිෂ්පාදනය කරමින් සැලකිය යුතු දායකත්වයක් ලබාදී ඇත. ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ භටපිරිස් දැනට මෙවැනි රථ 65 කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කර හමුදා භටපිරිස් සමඟින් මාලි රාජ්‍යය වෙත යවා ඇති අතර එමඟින් විදේශීය හමුදා භටපිරිස් බේරාගැනීමට මෙන්ම රටට විදේශ විනිමය උපයාගැනීමට ද බෙහෙවින් ඉවහල් වී ඇත.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය වෙතින් විදේශ මෙහෙයුම් සඳහා නිර්මාණය කරනු ලැබූ මෙම යුනිකොබ්-එම්ආර්ඒපී (Unicob- MRAP) රථ තවදුරටත් නිෂ්පාදනය කිරීමට අපේක්‍ෂා කෙරේ.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් විකුම් ලියනගේ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක හා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන ආඥාපති මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු එක්ව සිටියහ.