Header

Sri Lanka Army

Defender of the Nation

30th January 2022 22:39:37 Hours

දියතලාව ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසල වෙත සුලු අවි පුහුණු සමාකෘතියක්

දියතලාව ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසල වෙත ඉන්දීය යුද්ධ හමුදාව වෙතින් පරිත්‍යාග කල සුලු අවි පුහුණු සමාකෘතිය (Simulator) ස්ථානගත කොට පුහුණු ස්ථානයක් පිහිටුවීමේ උත්සවයක් සෙනසුරාදා (29) දින පස්වරුවේ පැවති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූවේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කෙරෙහි පවතින අවබෝධය සහ ද්වීපාර්ශ්වික සහයෝගීතාවය තවදුරටත් තහවුරු කරමින් ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන පසුගිය දා ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරය අතරතුර ඉන්දියාවේ නිෂ්පාදිත මෙම සමාකෘතිය පරිත්‍යාග කරන ලදී.

එමෙන්ම, එම සුලු අවි පුහුණු සමාකෘතිය පුහුණු පාසල් පරිශ්‍රයේ වෙනම ස්ථානයක ස්ථානගත කිරීමේ අවශ්‍යතාවය ද එතුමන් විසින් පෙන්වා දුන්නේය.

ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් විපුල ඉහළගේ විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් විසින් සමරු ඵලකය නිරාවරණය කර, පීත්ත පටිය කපා සුලු අවි පුහුණු සමාකෘතියේ පුහුණු කටයුතුවල සමාරම්භය සනිටුහන් කරන ලදී.

ඉන් අනතුරුව, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් විපුල ඉහළගේ සමඟ එක්ව මෙම සමාකෘතිය නිරීක්‍ෂණය කර අදහස් කිහිපයක් හුවමාරු කරගත් අතර නව සුලු අවි පුහුණු සමාකෘතිය භාවිතා කරමින් පුහුණු කටයුතු සාර්ථකව සිදුකිරීමේ වැදගත්කම පිළිබඳව ද පෙන්වා දුන්නේය.

පසුව, දියතලාව ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලේ භටපිරිස් විසින් ඉදිරිපත් කරනු ලැබූ සජීවී සංදර්ශනයක් නැරඹීමට ද ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එක්විය. මෙම අවස්ථාව සිහිපත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරමින් මෙදින වැඩසටහනේ පළමු කොටසේ සමාප්තිය සනිටුහන් කරන ලදි.