Header

Sri Lanka Army

Defender of the Nation

28th January 2022 08:00:52 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධිකරණයෙන් කිලිනොච්චි ප්‍රදේශයේ ජනතාවට ජංගම අක්‍ෂි සායනයක්

කොමර්ෂල් බැංකුව සහ අනුරාධපුර ‘මයි විෂන්’ අක්‍ෂි සත්කාර මධ්‍යස්ථානය සමඟ ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන සේනාංක මුලස්ථානය ඒකාබද්ධව කිලිනොච්චි ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ජංගම අක්‍ෂි සායනයක් පවත්වන ලදී. 571 වන බලසේනාවේ භටපිරිස් විසින් ඉකුත් සෙනසුරාදා (22) දින සංවිධානය කළ මෙම ජංගම අක්‍ෂි සායනයේදී ප්‍රදේශයේ තෝරාගත් ජනතාවට නොමිලේ ඇස් කණ්නාඩි බෙදාදුන්හ.

යුද්ධ හමුදාවේ ‘ඉදිරි උපායමාර්ගික සැලසුම් 2020-2025’ ට සමගාමීව ක්‍රියාත්මක කරන ප්‍රජා ව්‍යාපෘතීන් යටතේ මෙලෙස දියත් කළ මෙම ජංගම අක්‍ෂි සායනයට අක්‍ෂි විශේෂඥයින්, හෙදියන් සහ වෛද්‍ය සහායකයින් සහයෝගය ලබාදුන් අතර අක්‍ෂි සායනයට සහභාගි වු ප්‍රදේශවාසීන් 167 දෙනෙකුගේ අක්‍ෂි පරික්‍ෂා කර ඉන් 156 දෙනෙකු වෙත ඇස් කණ්නාඩි භාවිතා කිරීම සඳහා නිර්දේශ කරන ලදී. ජංගම අක්‍ෂි සායනයෙන් පසු දෘශ්‍ය සංකූලතා සහිත ප්‍රදේශයේ තෝරාගත් සිවිල් වැසියන් කිහිපදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා රජයේ රෝහල් වෙත යොමුකෙරිණි.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ ලබාදුන් උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ගේ අධීක්‍ෂණය යටතේ 571 වන බලසේනා මුලස්ථාන පරිශ්‍රයේදී ක්‍රියාවට නැංවු මෙම ජංගම අක්‍ෂි සායනය සඳහා 571 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද ගම්ලත් ඇතුළු භටපිරිස් සිය සහයෝගය ලබාදුන්හ.

කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ඉන්දික තිලකහේවා මහතා සහ කනිෂ්ඨ විධායක නිලධාරී මොහාන් සමරතුංග මහතා, ලංකා බැංකු සේවක සංගමයේ සාමාජිකයින්, බී.ඩී. සෙබස්තියන් අධ්‍යාපන හා පර්යේෂණ මධ්‍යස්ථානයේ නාමල් කරුණාරත්න මහතා, කීර්තිමත් අක්‍ෂි විශේෂඥ වෛද්‍ය සුමිත් තෙන්නකෝන් මහතා, අනුරාධපුර පිහිටි ‘මයි විෂන්’ අක්‍ෂි සත්කාර මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ විධායක නිලධාරී කණ්ඩායමක් එක්ව මෙම ජංගම අක්‍ෂි සායනය සාර්ථකව දියත් කරන ලදී.