Header

Sri Lanka Army

Defender of the Nation

11th January 2022 18:55:56 Hours

යාපනය අර්ධද්වීපයෙන් බඳවාගෙන පුහුණු කරන ලද යුද්ධ හමුදා සාමාජිකයින් 108 දෙනෙකු වෙත වියළි සලාක පාර්සල් බෙදාදෙති

සුහදත්වය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සත්කාරක ව්‍යාපෘති තවදුරටත් පුළුල් කරමින් ලොව පුරා වෙසෙන හින්දු භක්තිකයින් සමරන ‘තෛපොංගල්’ උත්සවය නිමිති කරගනිමින් පලාලි යුද්ධ හමුදා ගොවිපලේ සේවය කිරීම සඳහා යාපනය අර්ධද්වීපයෙන් බඳවාගෙන පුහුණු කරන ලද යුද්ධ හමුදා සාමාජිකයින් 108 දෙනෙකු වෙත වියළි සලාක පාර්සල් බෙදාදීමේ උත්සවයක් පසුගිය ඉරිදා (09) දින පැවැත්විණි.

මෙම උත්සව අවස්ථාවට සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා විසින් එම භටපිරිස් වෙත වියළි සලාක පාර්සල් පරිත්‍යාග කරන ලදී. ඉන් අනතුරුව, එම භටපිරිස් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් එතුමන් ‘තෛපොංගල්’ උත්සවය වෙනුවෙන් සියලුදෙනාට සුභපැතුම් එක්කරමින් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුවදුක් ද විමසුවේය.

කාබනික පොහොර භාවිතා කරමින් වගා කටයුතු තවදුරටත් වැඩිදියුණු කර ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ පවතින මෙම ගොවිපළ යාපනය අර්ධද්වීපයේ ආදර්ශ ගොවිපල බවට පත්කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කරන ලෙස එහිදි භටපිරිස් ඇමතූ මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා පැවසීය. මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් යුද්ධ හමුදාව වෙතින් සිදුකළ මෙම පරිත්‍යාගයන් වෙනුවෙන් සියලුම ප්‍රතිලාභීන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙත සිය ස්තූතිය පුදකරන ලදී.

කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් වී.ඩී.එස්. පෙරේරා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙක් සහ සෙසුනිලයින් කිහිපදෙනෙකු මෙම අවස්ථාවට එක්වූහ.