Header

Sri Lanka Army

Defender of the Nation

28th December 2021 09:00:07 Hours

කෙවිලියාමඩු ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක්

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි පසුගිය ඉරිදා (26) දින 11 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකළහ. එම සංචාරය අතරතුර මඩකලපුව දිස්ත්‍රික්කයේ මංගලගම, කෙවිලියාමඩු ප්‍රදේශයේ වෙසෙන අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි ගේ සුරතින් විවෘත කර එම නිවාසලාභී පවුල වෙත පවරාදුන්නේය.

කෙවිලියාමඩු ප්‍රදේශයේ පදිංචි ඒ.එම්. නන්දනී මහත්මියගේ පවුලේ ජීවන තත්ත්වය පිළිබඳ දැනුවත්වීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ඉල්ලීමකට අනුව මීට දින කිහිපයකට පෙර අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ මනෝවිද්‍යාඥ සහ පෞරුෂ සංවර්ධන උපදේශක, ධනාත්මක චින්තන කථිකාචාර්ය සහ ලේඛක චන්දන ගුණවර්ධන මහතා විසින් මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා සිය අනුග්‍රහය ලබා දී ඇත.

ඒ අනුව, අභාවප්‍රාප්ත චන්දන ගුණවර්ධන මහතාගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත 11 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එම අවශ්‍යතා සහිත පවුල වෙනුවෙන් මෙම නව නිවස ඉදිකරදුන්හ.

ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව නව නිවස විවෘත කිරීම සඳහා සාම්ප්‍රදායික චාරිතවාරිත්‍රයන් පැවැත්විණි. ඉන් අනතුරුව, මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි විසින් මෙම නව නිවසේ යතුරු නිවාසලාභියා වෙත ප්‍රදානය කළේය. මෙම අවස්ථාවේදී නිවාසලාභීන් වෙත ගෘහ භාණ්ඩ කිහිපයක්ද පරිත්‍යාග කරන ලදි.

මෙම අවස්ථාව සඳහා 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, 231 වන බලසේනාවේ බලසේනාධිපති, 11 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි සහ නිවාසලාභී පවුලේ සාමාජිකයින් සමඟින් ප්‍රදේශවාසීන් ද සහභාගී වූහ.