Header

Sri Lanka Army

Defender of the Nation

28th December 2021 09:15:07 Hours

51 වන සේනාංකයෙන් පාසල් සිසු සිසුවියන් වෙත පාවහන් පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංක මූලස්ථානය නත්තල් දින සැමරුම වෙනුවෙන් ‘sharing and caring’ පාඨය මූලික කරගනිමින් දානපතියන්ගේ අනුග්‍රාහකත්වය මත 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ගේ මූලිකත්වයෙන් දියත් කරනු ලබන ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස 51 වන සේනාංක මූලස්ථාන බලප්‍රදේශයේ වෙසෙන පාසල් සිසු සිසුවියන් වෙත පාසල් පාවහන් 150 ක් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

එම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් සංකේතාත්මකව සිසු සිසුවියන් 50 දෙනෙකු වෙත පාසල් පාවහන් පරිත්‍යාග කරන ලදී.

පළමු පාවහන් යගල් 50 බෙදාදීමෙන් අනතුරුව 512, 513 සහ 515 වන බලසේනා බලප්‍රදේශයන්හී වෙසෙන අවශ්‍යතා සහිත පාසල් සිසු සිසුවියන් 100 දෙනෙකුට එම මූලස්ථාන පරිශ්‍රයන් වෙත ආරාධනා කිරීමෙන් අනතුරුව ඉතිරි පාවහන් තොගය බෙදාදුන්හ.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘යුද්ධ හමුදා ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020-2025’ ට සමාගමීව දානපතියන්ගේ අනුග්‍රාහකත්වය මත 51 වන සේනාංක මූලස්ථානය වෙතින් සෑම මසකම දානපතියන්ගේ සහයෝගය මත ප්‍රජා මූලික ව්‍යාපෘති දියත් කරනු ලබයි.

එම පාවහන් තොගය ලබාගැනීම සඳහා සෙල්වපුරම්, යෝගපුරම් සහ කෝපායි ප්‍රදේශවල තෝරාගත් පවුල්වල දෙමව්පියන් සමඟින් සහභාගී වූ පාසල් සිසු සිසුවියන් සිය අධ්‍යාපන ප්‍රමිතීන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ලබාදුන් මෙම පරිත්‍යාගයන් වෙනුවෙන් සිය කෘතඥතාවය යුද්ධ හමුදාව වෙත පුදකළහ.

51 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ ඉල්ලීමකට අනුව මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් සීමාසහිත පුද්ගලික සමාගමේ ධම්මික ඉන්ද්‍රසිරි මහතා හා මධු සේනාරත්න මහත්මිය සහ කර්නල් ශිරන්ත මිල්ලගල විසින් මෙම වැඩසටහන වෙනුවෙන් සිය අනුග්‍රාහකත්වය ලබාදුන්හ.

මෙම අවස්ථාව සඳහා මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ හා ප්‍රියංකා වික්‍රමසිංහ මහත්මිය ඇතුළු සිය පවුලේ සාමාජිකයින් සහ 51 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සහභාගී වූහ.