Header

Sri Lanka Army

Defender of the Nation

28th December 2021 09:40:07 Hours

යුද්ධ හමුදා නත්තල් සැමරුම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකාවේ ආගමික හා සංස්කෘතික විවිධත්වයට සැබෑ අරුතක් එක්කරමින් සංහිඳියාවේ හා සහෝදරත්වයේ ඉපැරණි සබඳකම් තවදුරටත් වැඩිදියුණු කරමින් ‘සාමයේ කුමරා’ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සනිටුහන් කරන නත්තල් දිනය වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ මූලස්ථාන බළඇණියේ සේවයේ නියුතු භටපිරිස් විසින් යුද්ධ හමුදා මූලස්ථානය හා ඒ අවට මාර්ගයන් නෙත් සිත් ඇදගන්නා අයුරින් අලංකාරවත් කරන ලදී.

මධ්‍යම පරිසර අධිකාරිය මංසන්ධියේ සිට යුද්ධ හමුදා මූලස්ථානය දක්වා දිවෙන මාර්ගය දෙපස නත්තල් සැරසිලිවලින් අලංකාරවත් කර තිබූ අතර භඨකාර්ය සම්පාදන අණසක මූලස්ථානයේ ආඥාපති සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් ගේ ආරාධනයකට අනුව එම අවස්ථාවට සහභාගී වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් බ්‍රහස්පතින්දා (23) දින සන්ධ්‍යාවේ එය විවෘත කළේය.

මෙම අවස්ථාවේදී සැබෑ නත්තල් ආස්වාදයන් ලොවට විදහා පාමින් යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ගායක කණ්ඩායම විසින් නත්තල් කැරොල් ගීතිකා ගායනා කරමින් යේසුස් වහන්සේ වෙත ප්‍රශංසා කළහ.

නත්තල් කැරොල් ගීතිකා ගායනා කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් එම අවස්ථාවට එක් වූ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පවුල්වල දරු දැරියන් 50 දෙනෙකු වෙත ත්‍යාග ප්‍රදානය කළේය. ඉන් අනතුරුව, එතුමන් යුද්ධ හමුදා මූලස්ථානය දක්වා දිවෙන මාර්ගය දෙපස අලංකාරවත්ව සරසා තිබූ නත්තල් සැරසිලි දැකබලා ගන්නා ලදී.

එම අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් කිහිපදෙනෙක් ද සහභාගි වූහ.

යුද්ධ හමුදා මූලස්ථානය ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ ස්ථාපිත කළ දින සිට වෙසක්, නත්තල් සහ අනෙකුත් ආගමික මෙන්ම ජාතික හා සංස්කෘතික වශයෙන් වැදගත්කමකින් යුත් උත්සව අවස්ථාවන් සැමරීම ආගමික හා සංස්කෘතික සංහිඳියාව ප්‍රවර්ධනය වන අයුරින් උත්සව කටයුතු සංවිධානය කරනු ලබයි.