Header

Sri Lanka Army

Defender of the Nation

23rd December 2021 15:45:12 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුව අවසන් කොට ජාතික සංවර්ධන කාර්යයන් සඳහා තවත් කෙඩෙට් නිලධාරීන් 316 දෙනෙකු 2 වන ලුතිනන්වරුන් ලෙස ජනපති සුරතින් අධිකාරිය ලබති

දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙහි පුහුණුව සාර්ථකව අවසන් කළ තවත් කෙඩෙට් නිලධාරින් 316 දෙනෙකු 2 වන ලුතිනන්වරුන් ලෙස ජනාධිපති අධිකාරියට පත්ව අභිමානවත් පෙළපාලියකදී සෙනසුරාදා (19) දින විසිර ගියහ. කෙඩෙට් නිලධාරීන් විසිරයාමේ පොළපාලිය සඳහා සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්, ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) ජෙනරල් කමල් ගුණරත්න, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුලු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ 96 වන කෙඩෙට් නිලධාරී විසිරයාමේ පෙළපාලිය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරන ලදී.

මෙම අභිමානවත් පෙළපාලියෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් ආරක්‍ෂක ලේකම්, යුද්ධ හමුදාධිපතිතුමන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක විසින් උණුසුම් අයුරින් පිළිගෙන විද්‍යාපීඨ පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමට ජනාධිපතිතුමන් වෙත ආරාධනා කළේය. එහිදි, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිකරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කළේය.

කාන්තා කෙඩෙට් නිලධාරිනියන් ඇතුළු කෙඩෙට් නිලධාරීන් 316 දෙනෙකුගෙන් සමන්විත විසිරයාමේ පෙළපාලිය ඔවුන්ගේ සාර්ථක පුහුණුව අවසන් කිරිමෙන් පසු වෘත්තීය ජීවිතයෙහි වටිනාම අවස්ථාව ලෙස සැලකෙන අතර මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස රාජ්‍ය නායකයාගේ සම්ප්‍රාප්තිය සහ රටේ ආරක්‍ෂක අංශයේ ඉහළම නිලධාරීන්ගේ පැමිණීම ද මෙම අවස්ථාව වඩාත් අභිමානවත් කෙරිණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ සරඹ භූමියේ පැවති වර්ණ ධජඝණ සමගින් ඉතා අභිමානවත් පෙළපාලියේ ගෞරවාචාර මධ්‍යයේ අතිගරු ජනාධිපතිතුමන් සරඹ භූමිය වෙත පැමිණියේය. පසුව අතිගරු ජනාධිපතිතුමන් සහ සම්භාවනීය අමුත්තන් විසින් විසිර යනු ලබන නව නිලධාරින් වෙත ඔවුනගේ ජනාධිපති අධිකාරියෙහි (President honour) සංකේතය වන අසිපත් ප්‍රධානය කරන ලද අතර අධිකාරි ලැබූ නව නිලධාරින් තම පළමු ආචාරය අතිගරු ජනාධිපතිතුමන් වෙත අභිමානවත් පෙළපාලිය අතරතුර පිරිනමනු ලැබූහ.

කෙඩෙට් නිලධාරි විසිරයාමේ පෙළපාලියේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කළ මේජර් ආර්.ඒ.ඒ රණවක සහ පෙළපාලියේ දෙවැනි අණදෙන නිලධාරි කපිතන් බී.ඒ.පී.ඩී.ඒ බමුණුසිංහ සහ විද්‍යාපීඨ සැරයන් මේජර් බළලත් නිලධාරී -1 ඩබ්ලිව්.පී.ඩී.ආර් වීරසිංහ විසින් මෙම වර්ණවත් පෙළපාලිය මෙහෙයවන ලදී.

නිත්‍ය කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 89 පාඨමාලාවෙහි කෙඩෙට් නිලධාරින් 73 දෙනෙකු ද, නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 90 යටතේ කෙඩෙට් නිලධාරීන් 13 දෙනෙකු ද, නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 89 බ්‍රාවෝ (කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පාඨමාලා අංක 32, 33 සහ 35) පාඨමාලාවෙහි කෙඩෙට් නිලධාරින් 150 දෙනෙකු ද, නිත්‍ය කාන්තා කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 18 ට අයත් කාන්තා කෙඩෙට් නිලධාරිනියක් ද, ස්වේචඡා කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 61 යටතේ කෙඩෙට් නිලධාරීන් 60 දෙනෙකු ද, ස්වේචඡා කාන්තා නිලධාරී පාඨමාලා අංක 17 යටතේ කාන්තා කෙඩෙට් නිලධාරිනියන් 15 දෙනෙකු වශයෙන් කෙඩෙට් නිලධාරින් සහ නිලධාරිනියන් 316 දෙනෙකු 2 වන ලුතිනන්වරුන් ලෙස දිවයින පුරා සේවය සඳහා අධිකාරියට පත්ව විසිර ගියහ.

මෙලෙස අධිකාරියට පත් කෙඩෙට් නිලධාරින් සහ නිලධාරිනියන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙහි විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් විවිධ සංස්ථාවන්හි දිවයින පුරා රාජකාරි සිදුකිරීම සඳහා නුදුරේදී පත්වීම් ලැබීමට නියමිතව ඇත.

ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සිදු කරන ලද දේශනයෙන් අනතුරුව උත්සවයේ පළමු අදියර අවසන් විය.

ඉන් අනතුරුව, අධිකාරියට පත් 2 වන ලුතිනන්වරුන් එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි අතිගරු ජනාධිපතිතුමන්, ආරක්‍ෂක ලේකම් සහ යුද්ධ හමුදාධිපතිතුමන් සමග සමූහ ඡායාරූපයකට එක්වූහ. පසුව එම අවස්ථාව සිහිවනු වස් අතිගරු ජනාධිපතිතුමන් යුද්ධ හමුදා විද්‍යාපීඨ පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය.

අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් නික්මයෑමට මත්තෙන් අතිගරු ජනාධිපතිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සමරු සටහන් පොතේ සමරු සටහනක් තැබීමට ද ආරාධනා කළේය.

අධිකාරියට පත් ඔවුන් වෙත සුභපැතුම් එක්කිරීම සඳහා ජනාධිපති ආර්යාව අයෝමා රාජපක්‍ෂ මැතිණිය, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී චිත්‍රානි ගුණරත්න මැතිණිය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි සුජීවා නෙල්සන් මැතිණිය, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් විකුම් ලියනගේ, නියෝජ්‍ය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ බලසේනාධිපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය ඇතුලු විශ්‍රාමික හමුදා ප්‍රවීණයන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නියෝජිතයන්, උපදේශකයින්, දෙමව්පියන් සහ ඥාතීන් ඇතුලු රැසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

විශිෂ්ඨ කුසලතා දැක්වූ කෙඩෙට් නිලධාරින් ​සහ පාඨමාලාවන් පහතින් දැක්වේ:

කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 89:

පාඨමාලාවේ දක්‍ෂතම කෙඩෙට් නිලධාරියාට හිමි සම්මානය: බලඇණි මෙහෙයුම් නිලධාරී සී.එම්.එම් රුක්‍ෂාන්

ගෞරවණීය අසිපත සඳහා වූ ගෞරව සම්මානය : බලඇණි මෙහෙයුම් නිලධාරී සී.එම්.එම්. රුක්‍ෂාන්

නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 89 බී:

පාඨමාලාවේ දක්‍ෂතම කෙඩෙට් නිලධාරියාට හිමි සම්මානය: ඛණ්ඩ මෙහෙයුම් නිලධාරී ආර්.ටී.එල්.ඒ සිල්වා

ගෞරවණීය අසිපත සඳහා වූ ගෞරව සම්මානය: කණ්ඩායම් මෙහෙයුම් නිලධාරි එච්.ඊ.ඒ රංජුල

නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 90

පාඨමාලාවේ දක්‍ෂතම කෙඩෙට් නිලධාරියාට හිමි සම්මානය: කණ්ඩායම් භාර නිලධාරි ටී.ආර්.සී.ඩී රත්නායක

ගෞරවණීය අසිපත සඳහා වූ ගෞරව සම්මානය: කණ්ඩායම් භාර නිලධාරි ටී.ආර්.සී.ඩී රත්නායක

ස්වේච්ඡා කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 60:

පාඨමාලාවේ දක්‍ෂතම කෙඩෙට් නිලධාරියාට හිමි සම්මානය: කෙඩෙට් නිලධාරි ඒ.එම්.ඩී.ටී.එන් පෙරේරා

ගෞරවණීය අසිපත සඳහා වූ ගෞරව සම්මානය: කෙඩෙට් නිලධාරි ඒ.එම්.ඩී.ටී.එන් පෙරේරා

ස්වේච්ඡා කාන්තා කෙඩෙට් නිලධාරිනි පාඨමාලා අංක 17:

පාඨමාලාවේ දක්‍ෂතම කෙඩෙට් නිලධාරිනියට හිමි සම්මානය: ඛණ්ඩ මෙහෙයුම් නිලධාරිනි එච්.ඒ.ටී ප්‍රභාෂ්වරි

පාඨමාලාවේ හොඳම විදේශ කෙඩෙට් නිලධාරියාට හිමි ගෞරව සම්මානය: ඛණ්ඩ මෙහෙයුම් නිලධාරි මාලදිවයින ජනරජයේ ඒ. ආදම්