Header

Sri Lanka Army

Defender of the Nation

21st December 2021 18:53:22 Hours

නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේදී අඟහරුවාදා (21) දින රාජකාරි භාරගත්තේය.

ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබුවේය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු එක්ව සිටියහ.

තවද, මෙම අවස්ථාවට නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයින් ද එක්වූහ. මෙම ධුරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු 26 වන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ලෙස එම ධුරයේ රාජකාරි හෙබවූවේය.

මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු වර්ෂ 1986 ඔක්තෝබර් මස 27 දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 26 යටතේ කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට එක්විය. ඉන් අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය හා පකිස්ථාන හමුදා ඇකඩමිය තුලින් මූලික පුහුණුව හැදෑරු එතුමන් දෙවන ලුතිතන්වරයෙකු ලෙස අධිකාරියට පත්වී 3 වන ශ්‍රී ලංකා පාබල හමුදාවට අනුයුක්ත කරන ලදි.

එතුමන්ගේ අභිමානවත් හමුදා දිවිය තුළ, යුද්ධ හමුදාවේ විවිධ තනතුරු හොබවමින් යුද මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේදී නිර්භීත රණශූරයෙකු ලෙස කටයුතු කළේය. සිය වෘත්තිමය දිවියේදී විශිෂ්ඨ අණදෙන නිලධාරියෙක්, උපදේශකයෙක් සහ පරිපූර්ණ මාණ්ඩලික නිලධාරියෙක් විය.

සිය ආදර්ශමත් නායකත්ව ගුණාංග පෙන්නුම් කරමින් 3 වන, 6 වන සහ 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවන්හි අණදෙන නිලධාරි තනතුරු ද එතුමන් හෙබවිය. ඉන් අනතුරුව, 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි ධූරය ද එතුමන් විසින් හෙබවූවේය. පරිපූර්ණ වෘත්තීය නිලධාරියෙකු ලෙස උපායමාර්ගික සැලසුම් ප්‍රවර්ධනය කිරීම සහ එම මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් එතුමන්ගේ හැකියාවන් පෙන්නුම් කරන ලදි. ඒ තුලින් මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 532 වන සහ 512 වන බලසේනාවේ බලසේනාධිපති ධූරය හෙබවීමේ ගෞරවය ද එතුමන් සතුකරගන්නා ලදී.

මාණ්ඩලික නිලධාරියෙකු ලෙස එතුමන් යුද්ධ හමුදා මූලස්ථානය ඇතුළු අනෙකුත් යුද්ධ හමුදා ආයතනවල ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇත. ඒ අතර, මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරී II, පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී II සහ 21 වන පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I වැනි ප්‍රධාන තනතුරු වීය.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක තනතුර හෙබවූ මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු එම රෙජිමේන්තුවේ නිලධාරින් සහ සෙසුනිලයින්ගේ පරිපාලන සහ සුභසාධන කටයුතු වැඩිදියුණු කිරීම සඳහා නව ව්‍යාපෘතින් රාශියක් ආරම්භ කළේය. මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස සේවය කර ඇත. එසේම, පශ්චාත් යුද සමයේදි කොංගෝවේ එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලයට සේවය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුයුක්ත කරන ලද ශ්‍රී ලංකාවේ පළමු හමුදා නිරීක්‍ෂකයා වීමේ ගෞරවය ද එතුමන් විසින් හිමිකරගත්තේය.

ඊට ප්‍රථම එතුමන් ඉරාන ඉස්ලාමීය ජනරජ සාමසාධක මෙහෙයුම් පුහුණු පාඨමාලාවේ හමුදා නිරීක්‍ෂකයෙකු ලෙස ද කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ පාබල පුහුණු මධ්‍යස්ථානයේ සහ යුද හමුදා පුහුණු පාසලේ සේනාවිධායක ධූරයන් හෙබවීමේ අවස්ථාව ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත හිමිවිය.

කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන එතුමන් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ මානව සම්පත් දියුණුව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද ලබා ඇත. එසේම, එක්සත් රාජධානියේ බ්‍රැඩ්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ගැටුම් නිරාකරණය සහ ආරක්‍ෂක අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද හිමිකරගත් එතුමන් වෘත්තීය උපදේශකයෙකු වශයෙන් මනෝවිද්‍යාත්මක අධ්‍යයන ආයතනයෙන් මාර්ගෝපදේශනය සහ උපදේශනය පිළිබඳ හදාරා ඇත. සුවිශේෂී කථික හැකියාවන් හේතුවෙන් ශ්‍රී ලංකා වෘත්තීය උපදේශකවරුන්ගේ ආයතනයේ සාමාජිකත්වය ද එතුමන් වෙත පිරිනමා ඇත. තවද, එතුමන් ආසියා පැසිෆික් මධ්‍යස්ථානයේ ආරක්‍ෂක අධ්‍යයන විද්‍යාලයේ කීර්තිමත් උපාධිධාරියෙකු ද වේ.

මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු දේශීය හා විදේශීය විවිධ පුහුණු වැඩසටහන් තුලින් අත්දැකීම් සම්භාරයක් ද ලබා ඇත. ඔහු ඉන්දුනීසියාවේ Pacific Area Security Sector Working Group ආයතනයේ උපාය මාර්ගික අධ්‍යයනය පිළිබඳ අධ්‍යාපනය ප්‍රගුණ කිරීම පිළිබඳ පුහුණු පාඨමාලාවක් සම්පූර්ණ කළේය.

ඔහු මොංගෝලියාවේ පැසිෆික් ඒකාබද්ධ විශේෂ මෙහෙයුම් විශ්වවිද්‍යාලයේ මොන්ගෝලියානු සන්නද්ධ හමුදා විශේෂ මෙහෙයුම් විධානයේ පැසිෆික් ප්‍රදේශයේ ආරක්‍ෂක අංශයේ ක්‍රියාකාරී කණ්ඩායම් පුහුණු වැඩසටහනකට ද සහභාගී වී ඇත.

මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ කීර්තිමත් යුද්ධ හමුදා දිවියේ ක්‍රියාන්විතයන්හිදී දැක්වූ නිර්භීතකම, කැපවීම සහ යුද්ධ හමුදාව වෙනුවෙන් දැක්වූ පක්‍ෂපාතීත්වය වෙනුවෙන් එතුමන් වෙත පදක්කම් සහ ගෞරව සම්මාන රැසක් හිමිගන්වා ඇත.

ඒ අතර, රණ වික්‍රම පදක්කම, රණ ශුර පදක්කම, දේශපුත්‍ර පදක්කම, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, වන්නි මානුෂීය මෙහෙයුම් පදක්කම, පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්කම තෙවරක්, රිවිරැස මෙහෙයුම් පදක්කම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 50 වන සංවත්සර සැමරුම් පදක්කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම,කොන්ගෝවේ එක්සත් ජාතීන්ගේ නිරීක්‍ෂණ පදක්කම, විදේශ සේවා පදක්කම, සේවාභිමානී පදක්කම සහ පැසසුම් සේවා පදක්කම වේ.

එමෙන්ම, මේ වනවිට මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තුවේ අධිපති ධූරය ද හොබවයි.