Header

Sri Lanka Army

Defender of the Nation

21st December 2021 21:00:02 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට

වසර 35 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය අවසන් කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ ඇතුළු සිය පවුලේ සාමාජිකයින් පසුගිය අඟහරුවාදා (21) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූහ.

මෙම සුහද හමුවේදී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අතීතාවර්ජනය කරමින් යුද්ධ හමුදා දිවියේ අතීත මතකයන් පිළිබඳ සිහිපත් කරන ලදී. එමෙන්ම, මානුෂිය මෙහෙයුම් කාලසීමාව සහ වසර ගණනාවක් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ තර්ජනයන්ට ලක්ව සිටි ලක්වාසී ජනතාවගේ යහපත උදෙසා සිදුකරනු ලැබූ ප්‍රජා මූලික ක්‍රියාකාරකම් පිළිබඳව ද සිහිපත් කරන ලදී.

තවදුරටත් අදහස් දක්වමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහිව සිදුකළ මානුෂීය මෙහෙයුම සහ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ තිබූ ප්‍රදේශයන් අත්පත් කරගැනීම වෙනුවෙන් මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ දැක්වූ නිර්භිත දායකත්වය මෙම අවස්ථාවේදී කෘතවේදීව සිහිපත් කළේය. එමෙන්ම, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව සහ ඊට ප්‍රථම සිය රෙජිමේන්තුවේ ප්‍රවර්ධනය වෙනුවෙන් සිදුකළ අඛණ්ඩ කැපකිරීම ද මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමන් පැසසුමට ලක්කරන ලදී.

මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ධූරයේ රාජකාරි හොබවමින් සිටින කාලසීමාවේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිර්දේශය මත අතිගරු ජනාධිපතිතුමා විසින් 2021 සැප්තැම්බර් මස 08 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධූරය සඳහා පත්කරනු ලැබීය.

මෙම සුහද හමුවේදී, වසර 35 කට අධික ආදර්ශමත් සහ කැපවූ සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අනාගත අපේක්‍ෂාවන් පිළිබඳව ද ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විමසා බැලුවේය. එමෙන්ම, කුරිරු ත්‍රස්තවාදයට එරෙහිව පැවැති මානුෂීය මෙහෙයුමේදී රටේ භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කිරීම උදෙසා මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ සිදුකරනු ලැබූ කැපකිරීම පසුපස එතුමන් නන් අයුරින් දිරිගැන්වීමට කටයුතු කළ එතුමන්ගේ පවුලේ සාමාජිකයින් එහිදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක්විය.