Header

Sri Lanka Army

Defender of the Nation

19th December 2021 14:05:32 Hours

යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් පානීය ජල පහසුකම් සහ පාසල් උපකරණ පරිත්‍යාගයක්

64 වන සේනාංකය යටතේ ස්ථාපිත 642 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඒ.බි.එස්. අතුකෝරල විසින් කරන ලද ඉල්ලීමකට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි ශ්‍රී ලාංකීකයින් දෙදෙනෙකු වන ප්‍රියන්ත ගමගේ මහතා සහ දොන් ලක්‍ෂමන් ජයමහ මහතාගේ මුල්‍යමය දායකත්වය ඇතිව ප්‍රදේශයේ පාසල් සිසුන් අතර පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් එම ඒකකයේ භටපිරිස් විසින් සංවිධානය කරන ලදී.

ඊට සමගාමීව මනවලන්පඩ්ඩිමුරිප්පු ප්‍රදේශයේ පදිංචි සිවිල් වැසියන්ගේ ප්‍රයෝජනය සඳහා පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතියක් ‘සත්‍යසී’ සංවිධානයේ සහයෝගය ඇතිව ක්‍රියාවට නැංවිණි.

අනුග්‍රාහක භවතුන් විසින් ලබාදුන් එම පාසල් උපකරණ බෙදාදීමේ උත්සවය ඉකුත් සිකුරාදා (17) දින පැවති අතර 642 වන බලසේනාවේ බලසේනාධිපතිගේ ආරාධනයකට අනුව එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ සහභාගි විය. උත්සවය අතරතුරදී, එම පාසල් උපකරණ කරිපඩ්ඩමුරිප්පු රජයේ දමිල මිශ්‍ර පාසල, සම්මලාන්කුලම් රජයේ දමිල මිශ්‍ර පාසල, සින්නතම්බි පාසල සහ ඊශ්වරන් පාසලේ අධ්‍යාපනය හදාරණ පාසල් සිසුන් 330 දෙනෙකු අතර බෙදාදුන්හ.

මෙම ප්‍රජා ව්‍යාපෘතින් 642 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජි.ඩි.එස්.එම්. අල්විස් ගේ අධීක්‍ෂණය යටතේ 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ඇතුළු භටපිරිස් විසින් සංවිධානය කරන ලදී. පානීය ජලය සැපයීමේ ප්‍රජා ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිම තුළින් ප්‍රදේශයේ සිවිල් වැසියන් 50 දෙනෙකුට වැඩි ප්‍රමාණයකට පානීය ජලය ලබාගැනීමට හැකිවේ.

මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, 64 වන සේනාංකයේ සේනාංකාධිපති, 642 වන බලසේනාවේ බලසේනාධිපති, විදුහල්පතිවරුන් හා ගුරුභවතුන් මෙන්ම දෙමාපියන් ද සහභාගි වූහ.