Header

Sri Lanka Army

Defender of the Nation

20th December 2021 14:00:41 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුලින් උගත් කෙඩෙට් නිලධාරින් සිය පාඨමාලාවෙහි අවසන් ඉදිරිපත් කිරීම සිදුකරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ අධිකාරියට පත්වීමට සුදුසුකම් ලැබූ කෙඩෙට් නිලධාරින් විසින් ඔවුන් යුද්ධ හමුදාවේ තීරණ ගැනීමේ හැකියා සහිත වෘත්තීය සුදුසුකම් සැපිරූ කණ්ඩායමක් බව විදහාපාමින් සිය පාඨමාලාවෙහි අවසන් ඉදිරිපත් කිරීම ‘ඇෆ්ගනිස්ථාන තලේබාන් සංවිධානයේ පිබිදීම සහ දකුණු ආසියානු කලාපයේ අන්තවාදය සහ ත්‍රස්තවාදය පැතිරීම’ යන තේමාව ඔස්සේ ඉකුත් සෙනසුරාදා (18) දින එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් ඇතුළු ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න‍ සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඉදිරියේ සිනෝ ලංකා මිත්‍රත්ව ශ්‍රවණාගාරයේදී (Sino –Lanka friendship auditorium) ඉදිරිපත් කරනු ලැබූහ.

යුද්ධ හමුදාවේ අනාගතය භාරගන්නා වගකිව යුත්තන් ලෙස මනා තීරන ගැනීම හා වෘත්තීයමය භාවය ප්‍රකට කරමින් කෙඩෙට් නිලධාරීන් ඔවුන්ගේ පාඨමාලාවෙහි අවසන් පර්යේෂණාත්මක නිබන්ධනය ඉදිරිපත් කළහ. මෙම ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඒ පිළිබද ප්‍රශ්ණ සහ පිළිතුරු විමසීම මෙන්ම සහභාගී වූ විද්වත් අදහස් ප්‍රකාශ කිරීමක්ද සිදු කෙරිණි.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් නලින්ද නියංගොඩ විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ වාර්ෂික සඟරාව එළිදැක්වීම සනිටුහන් කරමින් එහි පළමු පිටපත අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ ආරක්‍ෂක ලේකම් වෙත පිළිගැන්වීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති වෙත පිළිගන්වන ලද අතර යුද්ධ හමුදාධිපතිතුමන් සම්භාවනීය වෙත පිරිනැමීම සිදුකරන ලදී. අනතුරුව මෙම අවසන් ඉදිරිපත් කිරීමේ අවස්ථාවෙහි සමාප්තිය සනිටුහන් කරමින් මෙම ඉදිරිපත් කිරීම පිළිබද අදහස් සහ නිරීක්‍ෂණ එක් කිරීමට ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත ආරාධනා කරන ලදී.

මෙහිදි යුද්ධ හමුදා පුහුණු අණසක විසින් එළිදක්වන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භූමි මෙහෙයුම් මූලධර්ම (Sri Lanka Army Land Operations Doctrine), ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු මූලධර්ම (Sri Lanka Army Training Doctrine), ශ්‍රී ලංකා යුද්ධ හමුදා හර පද්ධතියේ ඉංග්‍රිසි වෙලුම (Sri Lanka Army Core Values), ශ්‍රී ලංකා යුද්ධ හමුදා හර පද්ධතියේ සිංහල වෙලුම (Sri Lanka Army Core Values Sinhala Edition), නිලධාරී උපදේශක මාර්ගෝපදේශය (The Preceptor Officer Instructors’ Guide), ශිෂ්‍යභට නිලධාරි මාර්ගෝපදේශය (Metamorphosis Officer Cadets’ Guide) යන නව ප්‍රකාශන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් අතිගරු ජනාධිපතිතුමා වෙත පිරිනමන ලදී. එම ප්‍රකාශන මෙම අවස්ථාවට හඳුන්වාදීම සිදුකරනු ලැබුවේ ආඥාපති යුද්ධ හමුදා පුහුණු අණසක සහ අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් නිශාන්ත මානගේ විසිනි.

කෙඩෙට් නිලධාරින් අධිකාරියට පත්වීමෙන් අනතුරුව පවත්වනු ලබන රාත්‍රී භෝජන සංග්‍රහය ඉරිදා (19) දින ශිෂ්‍යභට නිලධාරී භෝජනාගාරයේදී පැවැත් වීමට නියමිත අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වීමට නියමිතය.

කෙඩෙට් නිලධාරි පාඨමාලාවෙහි අවසන් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ආර්යාව අයෝමා රාජපක්‍ෂ මැතිණිය, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී චිත්‍රානි ගුණරත්න මැතිණිය සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණිය සුජීවා නෙල්සන් මැතිණිය සහභාගි වූහ.

මෙම අවස්ථාව සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ තවත් ආරාධිතයින් රැසක් සහභාගි වූහ.