Header

Sri Lanka Army

Defender of the Nation

16th December 2021 17:00:43 Hours

නව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ලෙස මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර 22 වන ආඥාපති ලෙස ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි පසුගිය බදාදා (15) දින වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ හමුදා සම්ප්‍රදායානුකූලව පැවති උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි ආරම්භ ක‍ළේය.

මෙම උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ.

ඉන් අනතුරුව, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් සුජීව ජයසිංහ විසින් එතුමන් උණූසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව 4 වන ගැමුුණු හේවා බලකායේ භටපිරිස් විසින් නව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ.

පසුව, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි සුබ මොහොතින් නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය. ඉන් අනතුරුව, මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර යටතේ සේවයේ නියුතු සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින් සහ මාණ්ඩලික නිලධාරින් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

ඉන් අනතුරුව, භටපිරිස් ඇමතූ නව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සමගිය, කැපවීම සහ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් උපයෝගි කරගනිමින් තම රාජකාරි කටයුතු ඉටුකරන ලෙස භටපිරිස් වෙත උපදෙස් ලබාදුන්නේය.

තවදුරටත් අදහස් දක්වමින් මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි ප්‍රකාශ කළේ යුද්ධ හමුදාවේ ප්‍රතිරූපය ආරක්‍ෂා කරගනිමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සතු වගකීම් සහ කාර්යභාරය සාර්ථකව සිදුකිරීම වෙනුවෙන් සියළු නිලයින් කටයුතු කළ යුතු බවයි.

මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති ධූරය ද හොබවන අතර මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට පෙර එතුමන් සමූහ ආරක්‍ෂක සම්බන්ධීකරණ නිලධාරි සහ පාබල අධ්‍යක්‍ෂ ජෙනරල් ධූරය ද හෙබවූවේය.