Header

Sri Lanka Army

Defender of the Nation

16th December 2021 21:11:41 Hours

වාසවිලාන් බලඇණි පුහුණු පාසලේ පළමු ආධුනික පුහුණු පාඨමාලාව ඇරඹේ

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත වාසවිලාන් බලඇණි පුහුණු පාසලේ ප්‍රථම ආධුනික පුහුණු පාඨමාලාව සිංහල, දමිල සහ මුස්ලිම් ආධුනික සෙබළුන්ගේ සහභාගිත්වයෙන් පසුගිය සඳුදා (13) දින පැවති උත්සවයක දී ආරම්භ කෙරිණි. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ සහභාගී වූවේය.  

යුද්ධ හමුදාවේ ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ ට සමගාමීව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ මඟපෙන්වීම යටතේ ආරම්භ කරනු ලැබූ මෙම ආධුනික පුහුණු පාඨමාලාව මාස 4 ක් පුරා පැවැත්වීමට නියමිතව ඇත.

මෙම සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ සමාරම්භක දේශනය සිදුකරමින් සිවිල් ජීවිතය යුද්ධ හමුදා ජීවිතයට පරිවර්ථනය කිරීමේ ක්‍රියාවලිය, පුහුණු කාලසීමාව තුල ආධුනික සෙබළුන්ගේ වගකීම් මෙන්ම විනය, හැසිරීම සහ යුද්ධ හමුදා පුහුණුව හැදැරීමේදී ආධුනික සෙබළෙකු සතුව තිබිය යුතු කැපවීම වැනි කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් ඒ පිළිබද ආධුනික සෙබළුන් දැනුවත් කළේය.

දිවයින පුරා වෙසෙන සිංහල, දමිල සහ මුස්ලිම් තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් වාසවිලාන් බලඇණි පුහුණු පාසලේ පවත්වනු ලබන පළමු ආධුනික පුහුණු පාඨමාලාව මෙය වන අතර, මෙම පාඨමාලාව 51 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ 2022 අප්‍රේල් මස අවසානය තෙක් පැවැත්වීමට නියමිතව ඇත.

මෙම අවස්ථාව සඳහා 511, 513 සහ 515 වන බලසේනාවල බලසේනාධිපතිවරුන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සහ 51 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරින්, වාසවිලාන් බලඇණි පුහුණු පාසලේ ප්‍රධාන උපදේශකතුමන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු අණදෙන නිලධාරින් සහ වාසවිලාන් බලඇණි පුහුණු පාසලේ උපදේශකවරුන් ද සහභාගී වූහ.