Header

Sri Lanka Army

Defender of the Nation

16th December 2021 22:11:41 Hours

නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර වෙත හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාරය

ධූර කාලය අවසන් කර නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා වෙත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය බදාදා (15) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී පවත්වන ලදී.

එම කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා වෙත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනැමූහ.

ඉන් අනතුරුව, මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා සියලු නිලයන් අමතමින් සිය ධූර කාලය තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් එහිදි ඔවුන් වෙත ස්තූතිය පුදකළේය. පසුව, මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් පැවති තේ පැන් සංග්‍රහයක් සඳහා ද එතුමන් සහභාගී විය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර සේවයේ නියුතු සියලු නිලයන් නියෝජනය කරමින් 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ධම්මි හේවගේ විසින් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර වෙත සංකේතාත්මක සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා නුදුරේදී ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ධූරයේ රාජකාරි භාරගැනීමට නියමිතව ඇත.

මෙම අවස්ථාව සඳහා සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරින් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.