Header

Sri Lanka Army

Defender of the Nation

13th December 2021 16:35:28 Hours

අණදෙන නිලධාරින්ගේ කාර්යභාරය පිළිබඳ නිලධාරින් දැනුවත් කිරීමේ දෙදින වැඩමුළුවක්

ශ්‍රී ලංකා සංඥා පුහුණු පාසල විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා සංඥා බලකායේ වත්මන් අණදෙන නිලධාරීන් සහ ඉදිරියේදී පත්වන අණදෙන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් දෙසැම්බර් මස 9 සහ 10 දෙදින පුරා දියතලාව Mercury house ශාලාවේදි පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරී මෙන්ම ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අශෝක පීරිස් විසින් මෙම වැඩමුළුවේ සමාරම්භක දේශනය සිදුකළ අතර සංඥා බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජී.එල්.එස්.ඩබ්ලිව් ලියනගේ විසින් ‘අණදෙන නිලධාරීයෙකු ලෙස ඉටුකළ යුතු කාර්යභාරය’ යන තේමාව ඔස්සේ දේශනයක් සිදුකරන ලදී.

මෙම වැඩමුළුවේ පළමු දිනයේ නීති අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මේජර් එන්.ආර්.එම්.ආර්.ඒ. ගිරාගම විසින් අණදෙන නිලධාරියෙකුගේ නීතිමය වගකීම් පිළිබඳ දේශනයක් සිදුකරන ලදී. තවද, කළමනාකරණ ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය කරමින් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉසුරු අචින්ත ඒකනායක මහතා විසින් කළමනාකරණය, කළමනාකරණ සංකල්ප සහ එහි භාවිතයන්, යුද්ධ හමුදාව තුළ සන්නිවේදනය සහ විවේචනාත්මක චින්තනය යන තේමා ඔස්සේ දේශන පවත්වන ලදී.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලිලන්ත සමරනායක මහතා විසින් රොබෝ තාක්‍ෂණය හඳුන්වාදෙමින් පවත්වන ලද දේශනයෙන් මෙම වැඩමුළුවේ දෙවන දිනය ආරම්භ විය. ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ කොමදෝරු කේ.එච්.එන් කුලපති විසින් ඩ්‍රෝන තාක්‍ෂණය සහ ඩ්‍රෝන සිතියම්කරණය පිළිබඳව දේශනයක් සිදුකළේය.

හොලෝග්‍රෑම් හදුන්වාදීමේ දේශනය කර්නල් කේ.වී.පී. ධම්මික විසින් පවත්වන ලද අතර අභ්‍යන්තර විගණන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මේජර් ආර්.එම්.සී.ඩි. ජයවර්ධන විසින් ‘ඒකක මට්ටමින් මූල්‍ය ගැටළු ජය ගන්නේ කෙසේද’ යන තේමාව ඔස්සේ අවසන් දේශනය පවත්වන ලදී.

මෙම වැඩමුළුවේ සමාප්ති දේශනය ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් කේ.ඒ.ඩබ්ලිව්.එස්. රත්නායක විසින් සිදුකරන ලදී.