Header

Sri Lanka Army

Defender of the Nation

13th December 2021 15:45:28 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට නව පහසුකම් රැසක්

මැණික්ෆාම්, සෙට්ටිකුලම් ප්‍රදේශයේ ස්ථාපිත යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද සුළු අවි විඩම්බක පද්ධතිය, එළිමහන් රංග පීඨය සහ වෛද්‍ය පරීක්‍ෂණ කාමරය එම පුහුණු මධ්‍යස්ථානයේ 2021 දෙසැම්බර් මස 04 දින පැවති කෙටි උත්සවයකදී යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් කෝෂින පීරිස් ගේ ආරාධනයෙන් එම අවස්ථාවට සපැමිණි යාන්‍ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු විසින් භටපිරිස් වෙත පවරා දුන්හ.

මෙම සුළු අවි විඩම්බක පද්ධතිය තුලින් ක්ෂේත්‍ර වෙඩිපිටියක අත්දැකීම ලබාගත හැකිවන අතර ඒ තුලින් වෙඩි පුහුණුව ලබාගැනීම සඳහා වැයවන පිරිවැය මෙන්ම කාලයද ඉතිරි කරගත හැකිවේ. මෙම සුළු අවි විඩම්බක පද්ධතිය ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ නව සොයා ගැනීමකි.

බහුවිධ කාර්යන් සඳහා භාවිතා කළ හැකි නව එළිමහන් රංග පීඨය සියලු නිලයින්ගේ ප්‍රයෝජනය සඳහා භාවිතා කිරිමේ හැකියාව පවතී. එමෙන්ම, නවතමයෙන් ඉදිකරනු ලැබූ වෛද්‍ය පරීක්‍ෂණ කාමරය යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානයේ දිගුකාලීන අවශ්‍යතාවයක්ව පැවතිණි.

මෙම ව්‍යාපෘතිවල සාර්ථකත්වය වෙනුවෙන් ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, යුද්ධ හමුදා මූලස්ථානය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානය සහ යාන්ත්‍රික පාබල එක්කක වල නොමසුරු දායකත්වය ලබාදුන් අතර යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් සිය තාක්‍ෂණික දැනුම හා ශ්‍රම දායකත්වය ලබාදුන්හ.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති මෙම උත්සවය සඳහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින් සහ අණදෙන නිලධාරින් සහභාගී වූහ.