Header

Sri Lanka Army

Defender of the Nation

13th December 2021 16:20:28 Hours

ගැමුණු හේවා බලකායේ නව රෙජිමේන්තු අධිපති රාජකාරි අරඹයි

ගැමුණු හේවා බලකායේ 21 වන රෙජිමේන්තු අධිපති ලෙස පාබල අධ්‍යක්‍ෂ ජෙනරල් සහ යුද්ධ හමුදා මූලස්ථානයේ සමූහ ආරක්‍ෂක සම්බන්ධීකරණ නිලධාරි මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි 2021 දෙසැම්බර් මස 07 දින කුරුවිට පිහිටි ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි ආරම්භ කළේය.

රෙජිමේන්තු මූලස්ථානය වෙත සැපැමිණි මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි ගැමුණු හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබුවේය. ඉන් අනතුරුව, ප්‍රධාන දොරටුව අභියසදී නව රෙජිමේන්තු අධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමුවේය.

රෙජිමේන්තු මූලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී රට වෙනුවෙන් දිවිපිදූ විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර පුදකළ මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි ගැමුණු හේවා බලකායේ Highlanders' Paradise දේශන ශාලාවේදී භටපිරිස් ඇමතූවේය.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අභිමානවත් ආදි ශිෂ්‍යයෙකු වන මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි වර්ෂ 1987 ජුලි මස 20 දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 28 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට එක්විය. කෙඩෙට් නිලධාරි පාඨමාලාව සාර්ථකව හැදෑරු එතුමන් වර්ෂ 1989 ජුනි මස 23 දින අධිකාරියට පත්ව 4 වන ගැමුණු හේවා බලකායට අනුයුක්ත කරන ලදී.