Header

Sri Lanka Army

Defender of the Nation

13th December 2021 15:35:28 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් මඩකලපුව රෝහලට මෘතදේහ තැන්පත් කිරීමේ කන්ටේනර් බහාලුමක්

මඩකලපුව ශික්‍ෂණ රෝහලේ බලධාරීන් විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 වෛරසය පාලන සම්බන්ධීකාරක වශයෙන් කටයුතු කරන ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව කාත්තන්කුඩි මුස්ලිම් සම්මේලනයේ අනුග්‍රාහකත්වය මත රුපියල් මිලියන 4 ක පමණ වටිනාකමකින් යුත් වායු සමනය කරන ලද මෘත ශරීර තැන්පත් කිරීමේ කන්ටේනර් බහාලුමක් ඉකුත් සෙනසුරාදා (11) දින මඩකලපුව ශික්‍ෂණ රෝහල වෙත පරිත්‍යාග කරන ලදී.

ඒ අනුව, 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත, 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර සහ පරිත්‍යාගශීලීන්ගේ නියෝජිතයන් පිරිසක් සමඟ එක්ව එම කන්ටේනර් බහාලුම මඩකලපුව ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කලා ගනේෂලිංගම් මහත්මිය වෙත භාරදෙන ලදී.

මෙම අවස්ථාවට මඩකලපුව අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්. ශ්‍රීකාන්ත් මහත්මිය සහ මඩකලපුව ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින‍් කිහිපදෙනෙකු ද එක්වූහ.