Header

Sri Lanka Army

Defender of the Nation

22nd November 2021 15:00:57 Hours

කාලතුවක්කු පුහුණු පාසල මිලිමිටර් 122 වෙඩිතැබීමේ පුහුණුවීම් නැවත අරඹයි

ශ්‍රී ලංකා කාලතුවක්කු පුහුණු පාසල වසර 7 කට පසු කාලතුවක්කු අවි යොදාගනිමින් සිදුකරනු ලබන පුහුණුවීම් කටයුතු නැවත ආරම්භ කරමින් මිලිමීටර් 122 කාලතුවක්කු අවි යොදාගනිමින් වෙඩිතැබීමේ පුහුණුවීමක් නොවැම්බර් මස 19 සහ 20 දෙදින පුරා ටැම්පිටිය ක්ෂේත්‍ර වෙඩිපිටියේදී සිදුකරන ලදී.

වසර ගණනාවකට පසු ආරම්භ කල කාලතුවක්කු වෙඩි තැබීමේ පුහුණුවීම් කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මෙන්ම ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ සමගින් කාලතුවක්කු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික වෙලගෙදර සහ කාලතුවක්කු පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් රොෂාන් කන්නන්ගර ඇතුළු තවත් නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වූහ.

කාලතුවක්කු අවි යොදාගනිමින් සිදුකරනු ලැබු ක්ෂේත්‍ර වෙඩි තැබීමේ පුහුණුවීම් වර්ෂ 2014 අප්‍රේල් මාසයේ මාදුරුඔය ක්ෂේත්‍ර වෙඩි පිටියේදී අවසන් වරට සිදුකරන ලදී. කෙසේවෙතත්, මිලිමීටර් 120 සැහැල්ලු මෝටාර් අවි යොදාගනිමින් සිදුකරනු ලබන වෙඩි තැබීමේ පුහුණු සැසි වර්ෂ 2021 ජූලි මස 16 දින ටැම්පිටිය නව ක්ෂේත්‍ර වෙඩිපිටියේදී ආරම්භ කරන ලදී.

වසර 07 කට පසු පැවැති මිලිමීටර් 122 කාලතුවක්කු වෙඩි තැබීමේ පුහුණුවිම් සඳහා ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ දීර්ඝ කාලීන කාතු මාණ්ඩලික පාඨමාලාව - සෙසුනිල, ඛණ්ඩභාර බළලත් නිලධාරි පාඨමාලාව, මිනින්දෝරු සහ ඉලක්කපත් හසුකර ගැනිමේ පාඨමාලාව සහ පශ්චාත් ඒකක පුහුණු පාඨමාලාව සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයින් සහභාගී වූහ.

තවද, මෙම වෙඩිතැබීමේ පුහුණු කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු නිලධාරින් 10 දෙනෙකු, කාලතුවක්කු රෙජිමේන්තුවේ ඒකකවල නිලධාරින් 4 දෙනෙකු සහ සෙසුනිලයින් 57 දෙනෙකු එක්ව සිටියහ.