Header

Sri Lanka Army

Defender of the Nation

19th November 2021 16:22:54 Hours

යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පාසල්වලට ජල පිරිපහදු ඒකක

ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 641 සහ 642 වන බලසේනා මුලස්ථානවල සම්බන්ධිකරණයෙන් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පාසල් තුනක ජල පිරිපහදු ඒකක ස්ථාපිත කරන ලදී.

ඒ අනුව, කුලමුරිප්පු රජයේ දමිළ පාසල, කරිපඩ්ඩමුරිප්පු රජයේ දමිළ මිශ්‍ර පාසල සහ පලම්පාසි රජයේ දමිළ මිශ්‍ර පාසල තුල ජල පිරිපහදු ඒකක ස්ථාපිත කිරීමෙන් අනතුරුව ඉකුත් බදාදා (10) දින පැවැති උත්සවයකදී එම ජල පිරිපහදු ඒකක විවෘත කරන ලදී.

එම පාසල් තුල පැවැති ජල අවශ්‍යතාවය පිළිබඳ පාසල් බලධාරීන් විසින් යුද්ධ හමුදාව දැනුම්දීමෙන් අනතුරුව බලසේනා මුලස්ථානයන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව සීමාසහිත National PVC පුද්ගලික සමාගම මෙම ව්‍යාපෘතිය සඳහා පූර්ණ අනුග්‍රහකත්වය ලබාදුන්හ.

මෙම ජල පිරිපහදු ඒකක ස්ථාපිත කිරීම සඳහා 641 සහ 642 වන බලසේනාවන් යටතේ සේවයේ නියුතු භටපිරිස් සිය ශ්‍රමදායකත්වය ලබාදුන්හ. මෙලෙස ඉදිකල ජල පිරිපහදු ඒකක විවෘත කිරීමේ උත්සවයට 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් යු.පී.ආර්. වීරකෝන්, 641 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජානක ජයවර්ධන, 642 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජි.ඩි.එස්.එම්. අල්විස් ඇතුළු 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ, 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 17 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරින් සහභාගි වූහ.

තවද, මෙම අවස්ථාවට සීමාසහිත National PVC පුද්ගලික සමාගමේ අලෙවි කළමනාකරු රවි ජෝසප් මහතා, සීමාසහිත National PVC පුද්ගලික සමාගමේ සන්නාම කළමනාකරු ලලිත් ඩයස් මහතා සහ සීමාසහිත National PVC පුද්ගලික සමාගමේ ප්‍රාදේශීය කළමනාකරු (උතුරු) බෝජය කසුන් මහතා ඇතුළු තවත් පරිත්‍යාගශිලීන් කිහිපදෙනෙකු මෙන්ම ගුරුවරුන් සහ පාසල් සිසුන් ද එක්ව සිටියහ.