Header

Sri Lanka Army

Defender of the Nation

23rd November 2021 16:38:57 Hours

බංගලාදේශයේ සන්නද්ධ හමුදාවන්ගේ 50 වැනි සන්නද්ධ හමුදා දින සැමරුම අතිඋත්කර්ෂවත් අයුරින් සමරයි

බංගලාදේශයේ සන්නද්ධ හමුදාවන්ගේ 50 වැනි සන්නද්ධ හමුදා දින සැමරුම ඉකුත් ඉරිදා (21) දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්විණි. එම අවස්ථාව සඳහා බංගලාදේශයේ සන්නද්ධ හමුදාවන්ගේ ආරාධනයෙන් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

බංගලාදේශ සන්නද්ධ හමුදා දිනය සෑම වසරකම නොවැම්බර් මස 21 දින උත්කර්ෂවත් අයුරින් සමරනු ලබන අතර, මේ වසරට යෙදී ඇති 50 වැනි බංගලාදේශ සන්නද්ධ හමුදා සංවත්සර දින සැමරුම් උත්සවය ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් අතිගරු තාරෙක් එම්ඩි අරිෆුල් ඉස්ලාම් (Tareq Md Ariful Islam) ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම සංවත්සර සැමරුම් උත්සවයට රාජ්‍ය තාන්ත්‍රිකයින්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි ගරු සුජීවා නෙල්සන් මැතිණිය, බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ විශේෂ ආරාධිතයින් පිරිසක් සහභාගී වූහ.

බංගලාදේශ සන්නද්ධ හමුදා දිනය, බංගලාදේශයේ ස්වාධීනත්වය සහ ස්වෛරීභාවය ආරක්‍ෂා කිරීමේ අධිෂ්ඨානය පෙරදැඩිව සෑම වසරකම උත්සවශ්‍රීයෙන් සහ උද්‍යෝගයෙන් යුතුව සමරනු ලබයි.

බංගලාදේශ සන්නද්ධ හමුදාවේ නිර්භීත යුද්ධ, නාවික හා ගුවන් හමුදා සාමජිකයින් විමුක්ති සටන්කාමීන් සමඟ ඒකාබද්ධ මෙහෙයුම් දියත් කරමින් වර්ෂ 1971 දෙසැම්බර් මස 16 දින යුද ජයග්‍රහණයන් අත්පත් කරගැනීමෙන් අනතුරුව බංගලාදේශය නිදහස් රාජ්‍යයක් ලෙස නැගි සිටියේය.