Header

Sri Lanka Army

Defender of the Nation

12th November 2021 15:32:34 Hours

යුද්ධ හමුදා භටපිරිස් ගංවතුරෙන් විපතට පත් වූවන්ට සහන සලසයි

පසුගිය බදාදා (10) දින පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් දැදුරුඔයේ වම්පස ඉවුරේ 30 වන සැතපුම් කණුව අසල ඇතිවූ කැඩීයාම නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 58 වන සේනාංකය යටතේ ස්ථාපිත 583 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් අද (11) දින වැලි කොට්ට අතුරන ලදී.

මේ පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් වීමෙන් අනතුරුව නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා භටපිරිස් 37 දෙනෙක්, යුද්ධ හමුදා වාහන දෙකක් සහ බැකෝ යන්ත්‍රයක් යොදවමින් ආරම්භ කළ මෙම හදිසි අළුත්වැඩියා කටයුතු මේ වනවිටත් සිදුකරමින් සිටිති.

මේ අතර, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පොල්ගහවෙල, ගොඩවෙල සහ ගොඩැල්ලවත්ත ප්‍රදේශවල ඇති වූ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් පවුල් 50 ක පුද්ගලයින් වෙනුවෙන් 14 වන සේනාංකය යටතේ ස්ථාපිත 143 වන බලසේනාවට අයත් 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් නොවැම්බර් මස 9 සහ 10 දෙදින තුළ ආපදා සහන සැලසීමට කටයුතු කළහ.

එහිදී, යුද්ධ හමුදා භටපිරිස් විසින් ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් ආරක්‍ෂිත ස්ථාන කරා යොමුකිරීමෙන් අනතුරුව ඔවුන් වෙත පිසූ ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදුන්හ.

මේ අතර, 1 වන බලකාය යටතේ පුත්තලම, සින්නවිල්ලවත්ත ප්‍රදේශයේ ස්ථාපිත 58 වන සේනාංකයේ භටපිරිස් පුත්තලම - හලාවත ප්‍රධාන මාර්ගයේ පාලවිය, රත්මල්යාය ප්‍රදේශයේ මාර්ගය කැඩීයාම වැළැක්වීම සඳහා පසුගිය අඟහරුවාදා (09) දින එම මාර්ගයේ වැලි කොට්ට අතුරන ලදී. මෙම හදිසි අවශ්‍යතාවය සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 15 දෙනෙකු සිය දායකත්වය දැක්වූහ.

තවද, 613 වන බලසේනා මූලස්ථාන පරිශ්‍රයට නුදුරින් පිහිටි මාපලාන, රටලංකාවත්ත ආදාහනාගාර මාර්ගයේ අධික වර්ෂාපතනය හේතුවෙන් සිදු වූ කැඩීයාම් නැවත පිළිසකර කිරීමට ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 613 වන බලසේනාවේ භටපිරිස් සිය දායකත්වය දැක්වූහ.

කඹුරුපිටිය ප්‍රාදේශිය සභාවේ ඉල්ලීමකට අනුව 613 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු ගේ අධික්‍ෂණය යටතේ එම බලසේනාවේ භටපිරිස් ප්‍රාදේශිය සභාවේ කම්කරුවන්ගේ සහයෝගය ඇතිව පසුගිය බදාදා (10) දින මෙම අළුත්වැඩියා කටයුතු සිදුකරන ලදී. යුද්ධ හමුදා භටපිරිස් හානියට පත් මාර්ගය පිළිසකර කර බෝක්කු පිරිසිදු කර ජලය ගලාබැසීමට සැලැස්වීමෙන් තවබදුරටත් එම මාර්ගය කැඩීයාම අවම කරගැනීමට හැකිවිය.