Header

Sri Lanka Army

Defender of the Nation

11th November 2021 19:12:51 Hours

විශේෂ බලකායේ නව රෙජිමේන්තු අධිපති රාජකාරි අරඹයි

නාවුල ප්‍රදේශයේ ස්ථාපිත විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 10 වන රෙජිමේන්තු අධිපති ලෙස යුද්ධ හමුදා 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ 2021 ඔක්තෝබර් මස 23 දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූලව පැවති උත්සවයකදී රාජකාරි භාරගත්තේය.

රෙජිමේන්තු මූලස්ථාන ප්‍රධාන දොරටුව වෙත සපැමිණි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ වෙත විශේෂ බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව විශේෂ බලකා සරඹ භූමියේදී හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරයද පිරිනැමූහ.

ඉන් අනතුරුව, මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගත්තේය. පසුව, එම බලකායේ නිලධාරින් ඇමතු රෙජිමේන්තු අධිපතිතුමන් විශේෂ බලකායේ ප්‍රවර්ධනය වෙනුවෙන් සිදුකළ යුතු කර්තව්‍යයන් පිළිබඳ පැහැදිලි කළේය.

පසුව, එම අවස්ථාව සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ඉන් අනතුරුව, උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් විශේෂ බලකායේ රණවිරු ස්මාරකය අභියසදී යුද්ධයෙන් දිවිපිදූ විරෝදාර ර‍ණවිරුවන් සිහිකරමින් ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකළේය.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර, දියතලාව යුද්ධ හමුදා ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායක, විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, විශේෂ බලකා බලසේනාවේ බලසේනාධිපති, රෙජිමේන්තු මණ්ත්‍රන සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසු නිලයින් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව සහභාගී වූහ.