Header

Sri Lanka Army

Defender of the Nation

11th November 2021 12:00:25 Hours

15 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් සෝමාවතිය රජමහා විහාරස්ථානයේ ඉදිකළ ධර්මශාලාව සඟසතු කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 15 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් සිය තාක්‍ෂණික දැනුම උපයෝගී කරගනිමින් ‘පිබිදෙමු පොළොන්නරුව’ ව්‍යාපෘතිය යටතේ ඓතිහාසික සෝමාවතිය රජමහා විහාරස්ථාන පරිශ්‍රයේ ඉදිකරනු ලැබූ තෙමහල් ධර්මශාලා ගොඩනැගිල්ල මල්වතු පාර්ශවයේ අනුනායක සහ සෝමාවතිය රජමහා විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති චාම් උත්සවයකදී පසුගිය ඉරිදා (07) දින සඟසතු කර පූජා කරන ලදී.

මෙම අවස්ථාවට සහභාගි වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු එක්ව සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව පීත්ත පටිය කපා නව ධර්මශාලා ගොඩනැගිල්ල විවෘත කළහ.

ඉන් අනතුරුව, මහා සංඝරත්නයේ 50 නමක් විශයෙහිලා දානය පූජා කිරීමෙන් අනතුරුව එම විහාරස්ථාන පරිශ්‍රයේ ඉදිකිරීමට යෝජිත සංඝාවාසය, ධාතු මන්දීරය සහ කෞතුකාගාරයට මුල්ගල් තැබුවේය. සංඝාවාසය, ධාතු මන්දීරය සහ කෞතුකාගාරයේ ඉදිකිරීම් කටයුතු ද 15 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් සිය ශ්‍රමදායකත්වයෙන් සිදුකිරීමට නියමිතව ඇත.

ඉන් පසුව, සෝමාවතිය රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන්ගේ අනුශාසකත්වය මත මෙම ඉදිකිරීම් කටයුතු සඳහා දායකත්වය ලබාදුන් 15 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් මෙහිදි ඇගයීමට ලක්කරමින් ඔවුන් වෙත ඇගයීම් සහතිකපත් ප්‍රදානය කරන ලදී.

මෙම ආගමික වැඩසටහන කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්විණි.