Header

Sri Lanka Army

Defender of the Nation

11th November 2021 18:30:13 Hours

ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ නව නිපැයුම් ආරක්‍ෂක ලේකම් හා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිරික්‍ෂණයට

ජාතික ආරක්‍ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ස්ථාපිත ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, යුද හා සිවිල් තාක්‍ෂණික සංවර්ධනය සඳහා වු නව නිපැයුම් පිළිබඳ ඉමහත් ප්‍රගතියක් අත්කරදෙමින් නිර්මාණය කරන ලද නව නිපැයුම් 15 ක් සඳුදා (8) දින පනාගොඩ පිහිටි ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී ආරක්‍ෂක අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලදී.  

මෙම අවස්ථාවට ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරල් මේජර් ජෙනරල් කේ.ආර්.පි රෝවෙල් (විශ්‍රාමික) ගේ ආරාධනයකට අනුව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ නාවික හා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානීන් සහභාගි වූහ.

එහිදී, ඩ්‍රෝන් ජෑමර් සංවර්ධන ව්‍යාපෘතිය (Drone Jammer Development project), ඉඩම් අත්පත් කරගැනීම හා පැවරීම පිළිබඳ තොරතුරු කළමනාකරණ පද්ධතිය (Land Acquisition and Vesting Information Management System), ආහාර ප්‍රසම්පාදන කළමනාකරණ පද්ධතිය (Food Procurement Management System), ලේඛන කළමනාකරණ පද්ධතිය (Document Management System), අවබෝධතා ගිවිසුම් කළමනාකරණ පද්ධතිය (MoU Management System),  ඩිජිටල් ජංගම ගුවන් විදුලි යන්ත්‍ර (production of Digital Mobile Radio), විශේෂ මෙහෙයුම් සඳහා ලුහුබැඳීමේ උපාංගය (Tracking Device for Special Operations), සංග්‍රාමික වෙඩි තැබීම සඳහා ස්මාර්ට් ඉලක්කපත් පද්ධතිය (Smart Target System for Jungle Lane Firing), BTR සන්නද්ධ රථ පුහුණු සමාකෘතිය (BTR Simulator), මෝටාර් අවි පුහුණු සමාකෘතිය (Mortar Simulator), B-ඛාණ්ඩයේ වාහන පුහුණු සමාකෘතිය (B-vehicle simulator) ඇතුළු නව නිපැයුම් රැසක් සංකේතාත්මකව භාරදෙනු ලැබීය.  

එසේම, ආබාධිත රණවිරුවන්ට භාවිතා කළ හැකි පරිදි නිෂ්පාදනය කළ අද්විතීය ඉලෙක්ට්‍රොනික කෘතිම අත් පා, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාවිත කළ හැකි වන අලි පලවා හැරීම සඳහා අතේ ගෙන යා හැකි උපකරණයක් සහ ජාතික ශිෂ්‍යභට බලකාය සඳහා වූ විශේෂ නිලධාරීන්ගේ දත්ත ගබඩාවක් මෙහිදි භාරදෙනු ලැබු නව නිපැයුම් අතර විය.  

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අදාළ අංශවල ව්‍යාපෘති භාර නිලධාරීන්ගෙන් එම නිර්මාණ පිළිබඳ කරුණු විමසා දැනුවත්වීමෙන් අනතුරුව ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහා වූ නව නිපැයුම් 5 ක් සංකේතාත්මකව ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරල් මේජර් ජෙනරල් කේ.ආර්.පි රෝවෙල් (විශ්‍රාමික) ගේ සුරතින් සංකේතාත්මකව භාරගනු ලැබීය. එම නව නිපැයුම් අතර ඩ්‍රෝන් ජෑමර් සංවර්ධන ව්‍යාපෘතිය, ඉඩම් අත්පත් කරගැනීම හා පැවරීම පිළිබඳ තොරතුරු කළමනාකරණ පද්ධතිය, ආහාර ප්‍රසම්පාදන කළමනාකරණ පද්ධතිය, ලේඛන කළමනාකරණ පද්ධතිය, අවබෝධතා ගිවිසුම් කළමනාකරණ පද්ධතිය ද විය. මෙම නව නිපැයුම් සඳහා වු පේටන් බලපත්‍ර ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) වෙත ප්‍රදානය කිරීම ද එම අවස්ථාවේදී සිදුවිය.  

ඉන් අනතුරුව, ත්‍රිවිධ හමුදාව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ අනෙකුත් නව නිපැයුම්ලාභින්ට නව නිපැයුම් සංකේතාත්මකව භාරදීම සඳහා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) වෙත ආරාධනා කරන ලදී.  

ඒ අනුව, නවතමයෙන් නිපදවු ඩිජිටල් ජංගම ගුවන්විදුලි යන්ත්‍ර, විශේෂ මෙහෙයුම් සඳහා ලුහුබැඳීමේ උපාංගය, සංග්‍රාමික වෙඩි තැබීම සඳහා ස්මාර්ට් ඉලක්කපත් පද්ධතිය, ‘BTR’ සන්නද්ධ රථ පුහුණු සමාකෘතිය, මෝටාර් අවි පුහුණු සමාකෘතිය, B-ඛාණ්ඩයේ වාහන පුහුණු සමාකෘතිය සංකේතාත්මකව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත භාරදුන්නේය.  

එසේම, නාවික සහ ගුවන් හමුදාධිපතිවරුන් නියෝජනය කරමින් එම අවස්ථාවට සහභාගී වූ නාවික හා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානීන් වෙත ආරක්‍ෂක ලේකම් විසින් ඩිජිටල් ජංගම ගුවන්විදුලි යන්ත්‍ර 10 බැගින් ප්‍රදානය කරන ලදී. තවද ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ‘රණවිරු සෙවණ’ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටින සාමාන්‍ය සෙබල ඩී.ඩබ්ලිව්.එම්.කේ ප්‍රනාන්දු රණවිරුවා වෙත ඉලෙක්ට්‍රොනික කෘතීම අත් පා ද මෙහිදි ප්‍රදානය කරන ලදී.  

මීට අමතරව, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ මෙහෙයුම් එම්.එස්.එල්.ආර්.පී මාරසිංහ මහතා සහ ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් පී.ඩබ්ලිව්.බී ජයසුන්දර (විශ්‍රාමික) වෙත අලි පලවා හැරීම සඳහා අතේ ගෙන යා හැකි උපකරණයක් සහ ජාතික ශිෂ්‍යභට බලකායේ විශේෂ නිලධාරීන්ගේ දත්ත ගබඩා කිරිමේ පද්ධතියක් ප්‍රදානය කරන ලදී.

මෙම නව නිපැයුම් භාරදීමේ උත්සවය අවසානයේ, ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ කාර්යභාර්ය නීරික්‍ෂණය කළ ආරාධිතයින් එක් එක් අංශයේ කාර්යභාරය සහ වගකීම් පිළිබඳ සොයාබැලීය.