Header

Sri Lanka Army

Defender of the Nation

08th November 2021 11:03:24 Hours

නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් සිසිර පිලපිටියට සිය රෙජිමේන්තුවේ ගෞරවාචාරය

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මෙන්ම විජයබාහු පාබල රෙජිමේන්තුවේ 19 වන රෙජිමේන්තු අධිපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරල් සිසිර පිලපිටිය වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් ඉකුත් බ්‍රහස්පතින්දා (04) දින කුරුණෑගල, බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවතින සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්විණි.

රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් සිසිර පිලපිටිය, විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය භටපිරිස් විසින් එතුමන් වෙත පිරිනැමුවේය. ඉන් අනතුරුව, නික්මයන රෙජිමේන්තු අධිපතිතුමන් විජයබාහු පාබල රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය සහ පරම වීර විභූෂණ ස්මාරකය අභියසදී රට වෙනුවෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන් සිහිකරමින් පුෂ්පෝපහාර පුද කළේය.

ඉන් අනතුරුව, මේජර් ජෙනරල් සිසිර පිලපිටිය වෙත රෙජිමේන්තු වර්ණ පෙරටුකරගත් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය එම රෙජිමේන්තු මුලස්ථාන සරඹ භූමියේදී භටපිරිස් විසින් පුදකළහ. පසුව භටපිරිස් ඇමතූ නික්ම යන රෙජිමේන්තු අධිපතිතුමන්, විජයබාහු රෙජිමේන්තුවේ හිටපු රෙජිමේන්තු අධිපතිවරුන් ඇතුළු එම රෙජිමේන්තුවේ භටපිරිස් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තිමත් රෙජිමේන්තුවක් බවට විජයබාහු පාබල රෙජිමේන්තුව පත්කිරිම සඳහා දැක්වූ දායකත්වය සහ සිදුකළ කැපකිරිම් වෙනුවෙන් සිය ස්තූතිය එහිදි පුද කළේය.

ඉන් පසුව මේජර් ජෙනරල් සිසිර පිලපිටිය සිය කාර්යාලයේදී නිල ලේඛණයට අත්සන් තබා ධූරයෙන් නික්ම යෑම සනිටුහන් කරමින් නව රෙජිමේන්තු අධිපති ලෙස පත්කල අඥාපති යුද්ධ හමුදා පුහුණු අණසක මේජර් ජෙනරල් නිශාන්ත මානගේ වෙත සිය රාජකාරීන් නිල වශයෙන් භාරදෙනු ලැබීය. ඉන් අනතුරුව නික්ම යන රෙජිමේන්තු අධිපතිතුමන් විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් සමග සමූහ ඡායාරූපයකට ද එක් වූහ.

ඉන් අනතුරුව විජයබාහු පාබල රෙජිමේන්තුවේ අභිවෘද්ධිය උදෙසා මේජර් ජෙනරල් සිසිර පිලපිටිය ජ්‍යෙෂ්ඨ නිලධාරී සිදු කළ අපිරිමිත සේවය හා කැපකිරීම අගය කරමින් ඒ වෙනුවෙන් ස්තූතිය පුද කරමින් එතුමන්ගේ විශ්‍රාම දිවියට එම රෙජිමේන්තුවේ සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් සිය සුභ පැතුම් එක් කළේය.

ඉන් පසු වසර 35 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් සිසිර පිලපිටිය යුද්ධ හමුදාවට සහ විජයබාහු පාබල රෙජිමේන්තුවට සිදුකළ සේවාව ඇගයීමට ලක්කරමින් විශේෂ සමරු තිළිණයක් එහිදි ප්‍රදානය කළේය. පසුව මාර්ගය දෙපස රැදි සිටි නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ ‘ජයශ්‍රී’ හඩ මධ්‍යයේ මේජර් ජෙනරල් සිසිර පිලපිටිය සිය රෙජිමේන්තුවෙන් නික්ම ගියේය.

මෙම වැඩසටහන යුද්ධ හමුදා මූලස්ථානයෙන් නියම කරන ලද සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්විණි.