Header

Sri Lanka Army

Defender of the Nation

01st November 2021 18:10:02 Hours

නාග විහාරයේ ‘කඨින’ පූජා පිංකමට යාපනයේ භටපිරිස්වල දායකත්වය

යාපනය ශ්‍රී නාගවිහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජන්දුරේ සිරිවිමල හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් ඔක්තෝබර් මස 30 සහ 31 දෙදින පුරා එම විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවර පූජාව පැවැත්වූ අතර ඒ සඳහා යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු භටපිරිස් සිය සහයෝගය ලබාදුන්හ.

51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ උපදෙස් මත මෙවර කඨින චීවර පූජා පිංකම පැවැත්වීම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය 51 සේනාංකය විසින් ලබාදුන්හ.

දානපතියන් කිහිපදෙනෙකුගේ මුල්‍යමය දායකත්වය ඇතිව සංවිධානය කල මෙවර කඨින චීවර පූජාව අලංකාරවත් අන්දමින් පැවැත්විණි. චාරිත්‍රානුකූලව ආගමික වතාවත් සිදුකිරීම සඳහා ‘කඨින චීවරය’ මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ හිස මතින් විහාරස්ථාන පරිශ්‍රය වෙත වැඩම කරවිය.

512 වන බලසේනා මූලස්ථානයේ සිට බෞද්ධ ආගමික වතාවත් වලට අනුකූලව කඨින චීවරය මහා සංඝරත්නය වෙත පූජා කිරීම සඳහා එම විහාරස්ථානය වෙත වැඩම කරවා එම කඨින චිවරය මහා සංඝරත්නය වෙත පූජා කරනු ලැබීය. මෙම පිංකම් මාලාවේ සමාප්තිය සනිටුහන් කරමින් මහා සංඝරත්නය උදෙසා හීල් දානය සහ දහවල් දානය පූජා කිරීමෙන් අනතුරුව අටපිරිකර පූජා කරන ලදී.

මෙම අවස්ථාවට රාජ්‍ය නිලධාරීන්, 51 හා 52 වන සේනාංකවල සේනාංකාධිපතිවරුන්, 511 හා 512 වන බලසේනාවල බලසේනාධිපතිවරුන් සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.