Header

Sri Lanka Army

Defender of the Nation

29th October 2021 15:53:40 Hours

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි කාලතුවක්කු හමුදා පාසලට උණුසුම් අයුරින් පිළිගනි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ නව ධූරයේ රාජකාරි භාරගැනීමෙන් පසු සිය ප්‍රථම සංචාරය වශයෙන් පසුගිය සෙනසුරාදා (23) දින මින්නේරිය කාලතුවක්කු පාසලේදී සිදුකළේය. එහිදි, එතුමන් හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර මධ්‍යයේ පිළිගන්නා ලදී.

කාලතුවක්කු හමුදා පාසල වෙත සපැමිණි යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි වෙත කාලතුවක්කු හමුදා පාසලේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුද කරනු ලැබීය.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා පාසලේ සම්මන්ත්‍රණ ශාලාවේදී යුද්ධ හමුදාවේ ‘ඉදිරි උපාය මාර්ගික සැලැස්ම 2020 – 2025’ ට අනුකූලව ක්‍රමෝපායන් සහ ඉදිරි වැඩපිළිවෙලක් සැලසුම් කිරීම සඳහා ශක්තිමත් ප්‍රවේශයක අවශ්‍යතාවය යන තේමාව යටතේ 2021 ‘උපදේශක’ සම්මන්ත්‍රණය ආරම්භ කරන ලදී. එහිදි, කාලතුවක්කු හමුදාවේ නූතන අභියෝග සමඟ තරඟකිරීම සහ අනාගත අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි යුද්ධ හමුදාවේ ඉදිරි ගමනට අවශ්‍ය සහයෝගය ලබාදීම පිළිබඳ සාකච්ඡාවට බඳුන් කළේය.

සම්මන්ත්‍රණය ආරම්භ කිරීමට ප්‍රථම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 36 වන යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි කාලතුවක්කු හමුදා පාසල් පරිශ්‍රයේ පැළයක් රෝපණය කරමින් සිය සංචාරය සනිටුහන් කළේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි වෙත උපහාර පුද කිරීම සඳහා සේවයේ නියුතු සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.

එම සම්මන්ත්‍රණයේදී කණ්ඩායම් තුනක් යටතේ නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද පර්යේෂණ සහ නව සොයාගැනීම් පිළිබදව සාකච්ඡා කරන ලද අතර, සම්මන්ත්‍රණයට සහභාගිවූ නිලධාරීන්ට පසු කතන සාකච්ඡා සඳහා ද සහභාගී වීමට අවස්ථාව සැලසිණි.

මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න (විශ්‍රාමික) විසින් නිලධාරි නිවස්නයේ පැවති පළමු දින රාත්‍රී භෝජන සංග්‍රහයේ ආරාධිත දේශනය පැවැත්වූ අතර, එහිදි එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක සහ කාලතුවක්කු හමුදා පාසලේ සේනාවිධායක වෙත ස්තූතිය පුද කරමින් මෙවන් වැඩසටහනක් සංවිධානය කිරිම පිළිබඳව සිය ප්‍රසාදය පළ කළේය.

වැඩසටහන අවසානයේ ප්‍රධාන ආරාධිත අමුත්තා එම අවස්ථාවට සහභාගී වූ නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනි සිටියහ.

මෙම අවස්ථාව සඳහා මේජර් ජෙනරල් සංජය වනසිංහ, මේජර් ජෙනරල් අජිත් දිසානායක, මේජර් ජෙනරල් වන්දිත මාහින්කන්ද, මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර, මේජර් ජෙනරල් අජිත් කොලඹතන්ත්‍රි, මේජර් ජෙනරල් උපාලි ගුණසේකර, මේජර් ජෙනරල් සමන් ලියනගේ, මේජර් ජෙනරල් ලසන්ත රුද්‍රිගු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගී වූහ.