Header

Sri Lanka Army

Defender of the Nation

04th November 2021 09:39:36 Hours

ශාන්ත පීටර්ස්බර්ග් ඓතිහාසික බලකොටුව සහ විචිත්‍රවත් ආසන දෙව්මැදුර වෙත ශ්‍රී ලංකා දූත පිරිස සාදරයෙන් පිළිගනී

රුසියාවේ සංචාරයේ නිරත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධානි ඇතුලු දූත පිරිස ඉකුත් බ්‍රහස්පතින්දා (28) දින මිහයිලොව්ස්කායා (Mikhailovskaya) හමුදා කාලතුවක්කු විද්‍යාපීඨයට යාබදව පිහිටා ඇති දීර්ඝ කාළින ඉතිහාසයකට උරුම කම් කියන රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හි පීටර් සහ පෝල් බලකොටුවේ කහ පැහැති ආසන දෙව්මැදුරේ සහ තරු හැඩැති බලකොටුවේ සංචාරයක නිරත වූහ.

එම සංචාරය සඳහා එක්වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි සුජිවා නෙල්සන් මැතිණිය සහ යුද සේවා ලේකම් ඇතුලු දූත පිරිස බටහිර දිස්ත්‍රික් ආඥාපති කර්නල්-ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ෂුරාව්ලියෝව් (Colonel-General Alexander Zhuravlyov) සහ එම මැතිණිය විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. පසුව ශ්‍රේෂ්ඨ සාර් පීටර්ගේ (Tsar Peter the Great) දේහය තැන්පත් කරන ලද පීටර් සහ පෝල් ආසන දෙව්මැදුරේ අතිවිශිෂ්ට හා ඓතිහාසික ස්ථාන දැක බලාගත් ශ්‍රී ලංකා දූත පිරිස ශාන්ත පීටර්ස්බර්ග් කෞතුකාගාර සංකීර්ණයේ පිහිටි හමුදා කඳවුර සහ රාජකීය සුසාන භූමිය ඇතුලු පෞරාණික ගොඩනැඟිලි මෙන්ම කාලතුවක්කු වෙඩි තැබීම සිදුවන සංකීර්ණය දැකබලා ගනු ලැබීය.

ඉන් අනතුරුව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත ඓතිහාසික වැදගත්කමක් ඇති බලකොටුව වෙත පැමිණෙන ඉහළ පෙළේ රාජ්‍ය නායකයින් සහ සම්භාවනීය අමුත්තන්ට පමණක් හිමිවන සුවිශේෂි අවස්ථාවක් වන කාලතුවක්කු වෙඩි තැබීමකට එක්වන ලෙස ආරාධනා කරන ලදී. තවද ශ්‍රී ලංකා දූත පිරිස රුසියානු සමූහාණ්ඩුවේ වඩාත් කේන්ද්‍රීය සංචාරක ආකර්ෂණයක් වන බලකොටුවේ දෙව්මැදුර සහ කෟතුකාගරයක් ලෙස පවත්නා පැරණිය බන්ධනාගාරයේ සංචාරයක නිරත විය. රුසියානු හමුදා බලධාරීන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟ සමූහ ඡායාරූප ලබාගත් අතර එම බලකොටුවෙන් නික්මයෑමට මත්තෙන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තැබීය.

රුසියානු සමූහාණ්ඩුවේ බටහිර හමුදා දිස්ත්‍රික්කයේ මූලස්ථානය ශාන්ත පීටර්ස්බර්ග් හි පිහිටා ඇති අතර, රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශයේ බටහිර හමුදා දිස්ත්‍රික්කයේ 'නිලධාරීන්ගේ සමාජ ශාලාව' ('Officers' Club) ලෙස මෙය ඉතා ප්‍රකටය. ශාන්ත පීටර්ස්බර්ග් හී ගං ඉවුරකට මුහුණලා පිහිටා ඇති ඉතා ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක් දිනා ඇති මෙම ප්‍රදේශය ජාතියේ පුරාණ ශ්‍රේෂ්ඨත්වය සහ පොහොසත් ඓතිහාසික හා සංස්කෘතික උරුමයන් ප්‍රදර්ශනය කරයි.