Header

Sri Lanka Army

Defender of the Nation

01st November 2021 19:04:02 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් රුසියානු හමුදා කාලතුවක්කු විද්‍යාපීඨයේ සංචාරයක

රුසියානු එක්සත් සමුහාණ්ඩුවේ භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී හා සේනාධිනායක ජෙනරල් ඔලෙග් සැලියුකෝව් (General Oleg Salyukov) ගේ ආරාධනයෙන් දැනට රුසියාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා බ්‍රහස්පතින්දා (28) දින පෙරවරුවේ විද්‍යාඥයින් සහ විශේෂඥයින් සිය වෘත්තීමය නිපුණත්වය භාවිතා කරමින් කනිෂ්ඨ නිලධාරින්ට කාලතුවක්කු සහ අනෙකුත් සුළු අවි පිළිබඳ දැනුම ලබාදෙනු ලබන, වර්ෂ 1855 දී ශාන්ත පීටර්ස්බර්ග් (Saint Petersburg) ප්‍රදේශයේ ස්ථාපිත කළ කීර්තිමත් මික්හිල්ඔස්කෙයා හමුදා කාලතුවක්කු විද්‍යාපීඨයේ (Mikhailovskaya Military Artillery Academy) සංචාරයක නිරත විය. එහිදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, රුසියාවේ සිදුකරන සංචාරය අතරතුර මික්හිල්ඔස්කෙයා හමුදා කාලතුවක්කු විද්‍යාපීඨයේ ඇති වැදගත්කම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කාලතුවක්කු පිළිබඳ තාක්‍ෂණික හැකියාවන් වර්ධනය කිරීමෙහිලා වැදගත්වන කරුණු පිළිබඳ සොයාබැලීමේ අරමුණින් එම විද්‍යාපීඨයේ සංචාරයට එක්විය.

මික්හිල්ඔස්කෙයා හමුදා කාලතුවක්කු විද්‍යාපීඨය වෙත සපැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, එම විද්‍යාපීඨයේ සේනාවිධායක ලුතිනන් ජෙනරල් බකනීව් සර්ජි ඇනටොලිවිච් (Lieutenant General Bakaneev Sergey Anatolievich) උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ සහ සෙසු නිලධාරින් මෙන්ම අණදෙන නිලධාරින්ගේ කාලතුවක්කු සම්බන්ධ දැනුම වර්ධනය කිරීම උදෙසා මෙම විද්‍යාපීඨය තුල පවත්වනු ලබන පුහුණු සැසි දැකබලාගැනීම සඳහා එක්වූවේය.

මෙම විද්‍යාපීඨයට පැමිණෙන ඉහළ පෙළේ රාජ්‍ය නායකයින්ට සහ සම්භාවනීය අමුත්තන්ට පිරිනමනු ලබන ගෞරවාචාර වලට සමානව, කාලතුවක්කු වෙඩි මුරයක් පිරිනමමින් මික්හිල්ඔස්කෙයා හමුදා කාලතුවක්කු විද්‍යාපීඨය වෙත සපැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන්ට ගෞරවය පුද කරන ලදී. එසේම, ඉන්ධන ඉතිරි කරගනිමින් පරිසරයට හිතකාමී ලෙස කාලතුවක්කු වෙඩිතැබීම පිළිබඳ පුහුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති සමාකෘති මගින් හැකිවන බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන්ට එහිදි පෙන්වා දුන්නේය. එහිදී, අනෙකුත් තාක්‍ෂණික අංශවල විවිධ පැතිකඩයන් පිළිබඳව ද විද්‍යාපීඨයේ සේනාවිධායක සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් දැනුවත් කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් කාලතුවක්කු විද්‍යාපීඨ පරිශ්‍රයෙන් නික්මයාමට ප්‍රථම එම විද්‍යාපීඨයේ සේනාවිධායක ලුතිනන් ජෙනරල් බකනීව් සර්ජි ඇනටොලිවිච් (Lieutenant General Bakaneev Sergey Anatolievich) මෙම සංචාරය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත විශේෂ සමරු තිළිණයක්ද ප්‍රදානය කළේය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් ඉන් අනතුරුව සේනාවිධායක වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය.  

මෙම සංචාරය සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති සුජිවා නෙල්සන් මැතිණිය සහ යුද්ධ හමුදා නිලධාරීන් තිදෙනෙකු ද සහභාගී වූහ.

සංවෘත ස්ථානයන් තුළ කාලතුවක්කු වෙඩි තැබීමේ ක්‍රමවේද දියුණු කළ ලොව ප්‍රථම හමුදාව රුසියානු හමුදා කාලතුවක්කු භටපිරිස් වන අතර ඔවුන් එම උපායමාර්ග රුසියානු - ජපන් යුද්ධයේදී ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළහ.