Header

Sri Lanka Army

Defender of the Nation

26th October 2021 21:59:00 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ මුලිකත්වයෙන් නිවාස 20 ක් ඉදිකෙරේ

ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මෙන්ම ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ උපදෙස් මත ශ්‍රී ලංකා පාබල හමුදාවේ සියලුම නිලධාරින් සහ සෙසුනිලයින්ගේ සුභසාධන පහසුකම් තවදුරටත් වැඩිදියුණු කරමින් එම රෙජිමේන්තුව විසින් ක්‍රියාවට නැංවු නිවාස ව්‍යාපෘතියේ 2 වන අදියර යටතේ තවත් නිවාස 20 ක් ඉදිකිරීමේ කටයුතු පසුගියදා ආරම්භ කරන ලදී.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා සාමාජිකයින්ට හිසට සෙවණක් ලබාදීමේ අරමුණින් නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙස සියලුම රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙත උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් ක්‍රියාත්මක කළ නව නිවාස සහ අර්ධ නිවස ඉදිකිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ මෙම වසරේ සැප්තැම්බර් මාසය වනවිට ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් වෙනුවෙන් ඉදිකල නිවාස 20 ක ඉදිකිරීම් කටයුතු සම්පුර්ණයෙන්ම අවසන් කර ඇත. මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර රෙජිමේන්තු අරමුදල, සේවා වනිතා ඒකකය, රණසේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ පෞද්ගලික අංශයේ පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය ඇතිව සිදුකිරීමට නියමිතව ඇත.

මෙම ව්‍යාපෘතියේ 2 වන අදියර යටතේ සෑම නිවසකම ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් මිලියන 1.4 ක් ඇස්තමේන්තුගත කර ඇති අතර ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්වල තාක්‍ෂණික දැනුම හ‍ා ශ්‍රමදායකත්වය උපයෝගී කරගනිමින් එම නිවාස ඉදිකිරීම සඳහා කටයුතු සැලසුම් කර ඇත. පසුගියදා පැවති ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු මන්ත්‍රණ සභාව අතරතුර, ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් කැපවී සහයෝගය ලබාදුන් සියලුම නිලධාරින් සහ සෙසුනිලයින් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ ඇගයීමට ලක්විය.