Header

Sri Lanka Army

Defender of the Nation

26th October 2021 23:00:33 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මුලිකත්වයෙන් නිෂ්පාදනය කල කාබනික පොහොර තොගයක් ‘ලක් පොහොර’ බලධාරීන් වෙත භාරදෙයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි සියලුම ආරක්‍ෂක සේනා මූලස්ථාන රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය සඳහා සිය සහයෝගය ලබාදෙනු ලබයි. ඒ අනුව, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් මහ කන්නයේ කෘෂීකාර්මික අවශ්‍යතාවයන් සඳහා නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර කිලෝග්‍රෑම් 86,961 ක ප්‍රමාණයක් පසුගිය අඟහරුවාදා (26) දින පැවති උත්සවයකදී සීමාසහිත ලංකා පොහොර සමාගම (ලක් පොහොර) වෙත භාරදෙන ලදී.

ඒ අනුව, මෙම ව්‍යාපෘතිය සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය විසින් සීමාසහිත ලංකා පොහොර සමාගමේ සාමාන්‍යාධිකාරී ආර්.ඒ.පී. පෙරේරා මහතා එම මූලස්ථානය වෙත කැඳවා ගොවීන් අතර බෙදාදීම සඳහා මෙම කාබනික පොහොර තොගය සංකේතාත්මකව එතුමන් වෙත භාරදුන්හ.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්වල කෘෂිකාර්මික නිෂ්පාදන කටයුතු සඳහා සුදුසුකම් ලත් නිලධාරින් හා භටපිරිස් පසුගිය මාස කිහිපය තුල කාබනික පොහොර නිෂ්පාදනය වෙනුවෙන් මහත් පරිශ්‍රමයක් දැරූහ.

මෙම අවස්ථාවේදී, සීමාසහිත ලංකා පොහොර සමාගමේ සාමාන්‍යාධිකාරී ආර්.ඒ.පී. පෙරේරා මහතා සිය අදහස් දක්වමින් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා යුද්ධ හමුදාවේ මුලපිරීම වෙනුවෙන් සිය ස්තුතිය පුදකිරීමෙන් අනතුරුව සංකේතාත්මකව මෙම පොහොර තොගය භාර ගන්නා ලදී.

මෙම අවස්ථාව සඳහා 23 වන සේනාංකයේ සේනාංකාධිපති, බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරි, සීමාසහිත ලංකා පොහොර සමාගමේ නැගෙනහිර පළාත් සහ පොළොන්නරු දිස්ත්‍රික් ප්‍රාදේශීය කළමනාකාර භවතුන් සහභාගී වූහ. මෙම උත්සවය කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්විණි.