Header

Sri Lanka Army

Defender of the Nation

26th October 2021 20:33:07 Hours

ගැමුණු හේවා බලකායේ නව රෙජිමේන්තු අධිපති රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා, ගැමුණු හේවා බලකායේ 20 වන රෙජිමේන්තු අධිපති ලෙස ඔක්තෝබර් මස 23 වන දින ආගමික වතාවත් මධ්‍යයේ කුරුවිට පිහිටි ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවැති උත්සවයකදී රාජකාරි කටයුතු ආරම්භ කළේය.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා, ගැමුණු හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ප්‍රධාන දොරටුව අභියසදී එතුමන් වෙත පුද කළහ. ඉන් අනතුරුව, ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය ද නව රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා වෙත පිරිනැමුහ.

නව රෙජිමේන්තු අධිපතිතුමන්, මධ්‍යස්ථාන සේනාවිධායක සහ පෙළපාලි අණදෙන්නා සමගින් වර්ණවත් සම්මාන පෙළපාලිය නිරික්‍ෂණය කළහ. පසුව මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කළහ.

ඉන් අනතුරුව, මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා සංකේතාත්මක ලේඛණයකට අත්සන් තබමින් නව ධුරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

ඉන් පසුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයකින් අනතුරුව රාජකාරි භාරගැනීමේ උත්සවය අවසන් විය. ඉන් අනතුරුව, මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගැමුණු හේවා බලකායේ නිලධාරින් සහ සෙසුනිලයින් ඇමතූවේය. පසුව පැවැති රෙජිමේන්තු මන්ත්‍රණ සභාවට සහභාගි වීමට පෙර රෙජිමේන්තු අධිපතිතුමන් සියලුම අණදෙන නිලධාරින් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ.