Header

Sri Lanka Army

Defender of the Nation

29th October 2021 15:55:04 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් මොස්කව් නුවර පිහිටි උසස් ඒකාබද්ධ යුද අණදෙන පාසලේ සංචාරයක

රුසියානු එක්සත් සමුහ ආණ්ඩුවේ භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී හා සේනාධිනායක ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් (General Oleg Salyukov) ගේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ආරාධනයෙන් රුසියාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳුදා (25) දින රුසියානු භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මොස්කව් නුවර පිහිටි උසස් ඒකාබද්ධ යුද අණදෙන පාසලේ සංචාරයක නිරත විය.

එම උසස් ඒකාබද්ධ යුද අණදෙන පාසැල වෙත පැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, එම පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරල් රෝමන් බින්යුකොව් (Major General Roman Binyukov) විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, පුහුණු පාසලේ අධ්‍යයන කටයුතු පිළිබඳ දැනුවත්වීමක් ලබාගනිමින් යුද්ධ හමුදාධිපතිතුමන් ශිෂ්‍ය නිලධාරින් පුහුණු කටයුතු සිදුකරනු ලබන පන්ති කාමරයක් ද නිරීක්‍ෂණය කිරීමට එක්විය.

පාසල් විෂය මාලාවේ කොටසක් ලෙස පාසලේ ඉංජිනේරු භටපිරිස් සිදුකරනු ලබන නව නිපැයුම් පිළිබඳව ද සේනාවිධායක පුහුණු පාසලේ සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් දැනුවත් කරන ලදී. එසේම, මෙම පුහුණු පාසලේ ශාඛා, පීඨ, දෙපාර්තමේන්තු, පර්යේෂණ කණ්ඩායම්, විද්‍යාගාර, අධ්‍යයන පාඨමාලා, ආචාර්ය උපාධි, පශ්චාත් උපාධි යන අංශයන් තුළ අධ්‍යාපන කටයුතු සිදුකරනු ලබන ආකාරය පිළිබඳව ද එම සංචාරයේදී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා දැනුවත් විය.

එසේම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ එම පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරල් රෝමන් බින්යුකොව් (Major General Roman Binyukov) අතර අදහස් හුවමාරු කරගැනීමක්ද පැවැත්විණි.

මෙම හමුව අවසානයේ පුහුණු පාසලේ සේනාවිධායකතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරමින් දෙරට අතර සුහදත්වය සංකේතවත් කළේය. ඉනික්බිතිව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් ද පුහුණු පාසල් සේනාවිධායක වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය. මෙම අවස්ථාවට පුහුණු පාසලේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද සහභාගි වූහ.

මොස්කව් නුවර පිහිටි උසස් ඒකාබද්ධ යුද අණදෙන පාසල යනු රුසියානු සන්නද්ධ හමුදාවේ උසස්ම හමුදා අධ්‍යාපන ආයතනය වන අතර එය වර්ෂ 1917 දෙසැම්බර් මාසයේදී 1 වන මොස්කව් විප්ලවීය යාන්ත්‍රික අවි නිලධාරීන්ගේ පාසල (1st Moscow revolutionary machine gun officers' school) ලෙස පිහිටුවන ලදී. එය පසුව මොස්කව් නුවර පිහිටි උසස් ඒකාබද්ධ යුද අණදෙන පාසල බවට පත් වූ අතර අණදෙන නිලධාරින් පුහුණු කිරීම සඳහා එම පුහුණු පාසල පවත්වාගෙන යනු ලබයි. උසස් වෘත්තීය අධ්‍යාපනයක් ඇති නිලධාරීන්, හමුදා ඉංජිනේරුවන් සහ රටේ ආරක්‍ෂක ක්‍රියාමාර්ගයන් ශක්තිමත් කිරීමේ ගැටළු විසඳීම සහ හමුදා නිලධාරීන්ගේ වෘත්තීය අධ්‍යාපනය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් මූලික හා ව්‍යවහාරික විද්‍යාත්මක පර්යේෂණ සිදුකිරීම මෙම පාසල මඟින් සිදුකරනු ලබයි.