Header

Sri Lanka Army

Defender of the Nation

17th October 2021 09:18:59 Hours

11 වන ගැමුණු හේවා බලකාය වෙතින් නැදුන්කර්නි ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 623 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 11 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් යුද්ධ හමුදා දින සංවත්සරය (ඔක්තෝබර් 10) නිමිත්තෙන් නැදුන්කර්නි ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් පසුගිය ඉරිදා (10) දින පැවති චාම් උත්සවයකදී නිවාසලාභියා වෙත පවරා දුන්හ.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාරගේ ගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන සඳහා 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපාලි ගුණසේකර ගේ ඉල්ලීමකට අනුව මහනුවර ‘ඩෝවෙල්ස්’ වෛද්‍ය සුභසාධක සංගමයේ සභාපති, ව්‍යාපාරික ව්‍යවසායක නලින්ද දිසානායක මහතා සහ දිලීප ජයකෝඩි මහතා, Veheratenna Metal Crushers පුද්ගලික සමාගමේ හිමිකරු කපිතන් ලක්‍ෂ්මන් (විශ්‍රාමික), රංජුල මහතා, 11 වන ගැමුණු හේවා බලකායේ සියළු නිලධාරින් සහ සෙසුනිලයින් ගේ මූල්‍යමය දායකත්වය හිමිවූහ.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි තවත් එක් ප්‍රජා ව්‍යාපෘතියක් ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි, 62 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 623 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රොහාන් මැදගොඩ ගේ උපදෙස් හා 11 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ප්‍රසාද් කරුණාරත්න ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් නදුන්කර්නි, මරුතෝඩෙයි ප්‍රදේශයේ පදිංචි නිවාසලාභි පී. විජේන්ද්‍රනි මහත්මිය වෙනුවෙන් මෙම නව නිවස ඉදිකරන ලදි.

මෙම අවස්ථාව සඳහා පරිත්‍යාගශීලීන්, නැදුන්කර්නි ප්‍රාදේශිය වන අඩවි නිලධාරි, MAGA ව්‍යාපෘති ඉංජිනේරු, නැදුන්කර්නි පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, පුලියන්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපති සහ තවත් ප්‍රජා ව්‍යාපෘති නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.

මෙම උත්සවය අතරතුරදී, 62 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් මෙම අවස්ථාව සනිටුහන් කරමින් එම පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ අතර නිවාසලාභියා වෙත නිවසට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ලී බඩු ප්‍රදානය කළේය.