Header

Sri Lanka Army

Defender of the Nation

17th October 2021 09:30:10 Hours

යුද්ධ හමුදා දින සංවත්සරයට සමගාමීව 52 වන සේනාංකයෙන් තවත් ප්‍රජා මූලික ව්‍යාපෘති දියත් කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 522 වන බලසේනාවේ භටපිරිස් 72 වන යුද්ධ හමුදා දින සංවත්සරයට සමගාමීව මිරුසුවිල් සහ කෙට්පෙලි ප්‍රදේශවල ප්‍රජා මූලික ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලදී. 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ගේ උපදෙස් මත ඔක්තෝබර් 10 සහ 11 දෙදින තුළ මෙම වැඩසටහන් ක්‍රියාත්මක විය.

ඒ අනුව, 7 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් මිරුසුවිල් ප්‍රදේශයේ පිහිටි Holy Family ළමා නිවාසයේ නේවාසික සිසුන් වෙනුවෙන් ලිපිද්‍රව්‍ය සහ එම ළමා නිවාසයේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් ත්‍යාග පාර්සල් ද පිරිනැමූහ. ඉන් අනතුරුව, එම ළමා නිවාසයේ සියළුම සාමාජිකයින් වෙනුවෙන් ප්‍රණිත දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනමන ලදී.

මේ අතර, 7 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් කෙට්පෙලි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි සලාක පාර්සල් පරිත්‍යාග කළහ.

මෙම වැඩසටහන යටතේ, කෙට්පෙලි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 25 කට එකක් රු. 1500 ක වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සල් බෙදාදුන්හ. එම වියළි සලාක පාර්සල් හාල්, පරිප්පු, සීනි, අර්තාපල් අල සහ ළුණු ආදී ද්‍රව්‍ය වලින් සමන්විත විය.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් 522 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එස්.ඒ. හෙට්ටිගේ සමඟින් 7 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි සහභාගි වූහ. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම උත්සවය සඳහා එම ප්‍රදේශයේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වූහ.