Header

Sri Lanka Army

Defender of the Nation

14th October 2021 16:40:45 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනයේ මූලිකත්වයෙන් යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව ප්‍රජා ව්‍යාපෘති රැසක් දියත් කෙරේ

72 වන යුද්ධ හමුදා සංවත්සර දින සැමරුම උත්සවයට සමගාමීව 2021 ඔක්තෝබර් මස 9 සහ 10 දෙදින තුළ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51, 52 සහ 55 වන සේනාංකවල භටපිරිස් යාපනය අර්ධද්වීපයේ සිවිල් වැසියන් හා යුද්ධ හමුදාව අතර පවත්නා සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සුභසාධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, 551 වන බලසේනාව යටතේ ස්ථාපිත 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමෙන්තුවේ භටපිරිස් නෙල්ලිඅඩි ප්‍රදේශයේ පිහිටි ශ්‍රී පරමානන්ද ළමා නිවාසයේ නේවාසික ළමුන් සඳහා ලිපි ද්‍රව්‍ය සහ පාසල් නිල ඇඳුම් බෙදාදුන් අතර ශ්‍රී පරමානන්ද වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන් සඳහා රෙදිපිලි පරිත්‍යාග කළහ. ඊට අමතරව, එම ළමුන් සහ වැඩිහිටියන් සඳහා ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් භටපිරිස් විසින් පිරිනමන ලදී.

මේ සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මොහාන් ජයවර්ධන විසින් ලබාදුන්හ.

මේ අතර, 551 වන බලසේනාවේ සහ 16 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් මන්තිකායි රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරන ලදී. එහිදී, රෝහල් ගොඩනැගිලි සහ මෘත ශරීරාගාරය තුළ තිබූ කැලි කසල ඉවත් කර පිරිසිදු කරන ලද අතර රෝහල් පරිශ්‍රයේ රෝගීන්ට සහ රථවාහනවලට ගමන් කිරීමේ පහසුව සඳහා මංතීරුවක් ද ඉදිකරන ලදී. මෙම වැඩසටහන අවසානයේ, එම රෝහලේ නේවාසික රෝගීන් සහ රෝහල් කාර්යමණ්ඩලය සඳහා ප්‍රණීත දිවා ආහාර වේලක් ද භටපිරිස් විසින් පිරිනමන ලදී.

මෙම වැඩසටහන 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන සහ 551 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චින්තක වික්‍රමසිංහ ගේ උපදෙස් මත ක්‍රියාවට නැංවිණි.

මේ අතර, 52 වන සේනාංකය යටතේ ස්ථාපිත 11 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් යාපනය ප්‍රදේශයේ පිහිටි සෙල්වසන්ධි මුරුගන් කෝවිල සහ මිරුසුවිල් ශ්‍රී අම්මාන් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරන ලදී. මෙම වැඩසටහන 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ගේ උපදෙස් මත ක්‍රියාවට නැංවිණි.

යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව යාපනය අර්ධද්වීපයේ පැවැති සියලුම වැඩසටහන් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරිණි.