Header

Sri Lanka Army

Defender of the Nation

15th October 2021 21:15:41 Hours

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි අනුරාධපුර යුද්ධ හමුදා සේවා බලකා පුහුණු පාසලට රියදුරු සමාකෘති ඒකක පරිත්‍යාග කරයි

අනුරාධපුර, තිසාවැව ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා සේවා බලකා පුහුණු පාසලේ පසුගිය බ්‍රහස්පතින්දා (14) දින සංචාරයක නිරත වූ ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම පුහුණු පාසලේදී මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

එම පුහුණු පාසල වෙත සපැමිණි ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් ප්‍රධාන දොරටුව අභියසදී යුද්ධ හමුදා සේවා බලකා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් මොහාන් ප්‍රේමරත්න විසින් පිළිගත්තේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සංස්කෘතික නර්තන කණ්ඩායමේ උඩරට වෙස් නර්තන ශිල්පීන්ගේ කලාත්මක නර්තනයන් මධ්‍යයේ මෙම අවස්ථාවට සපැමිණි ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් රතු පලස මතින් රියදුරු සමාකෘති ඒකකය විවෘත කිරීම සඳහා කැටුව යන ලදී.

ඉන් අනතුරුව, ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන ගේ සුරතින් පීත්ත පටිය කපා සමරු ඵලකය නිරාවරණය කර පුහුණු පාසල් පරිශ්‍රයේ අභිනවයෙන් ස්ථාපිත කළ රියදුරු සමාකෘති ඒකකය විවෘත කෙරිණි. එම පුහුණු පාසලේ රියදුරු පුහුණු පාඨමාලාවන් සඳහා වැයවන පිරිවැය අවම කිරීමේ අරමුණින් ඉන්දිය යුද්ධ හමුදා ප්‍රධානී විසින් දෙරට අතර පවත්නා සහයෝගීතාව සහ අවබෝධය තවදුරටත් ශක්තිමත් කරමින් එම පුහුණු පාසල වෙත රියදුරු සමාකෘති ඒකක පරිත්‍යාග කළේය.

එම අවස්ථාවේදීම, ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි විසින් දියතලාව ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ පුහුණු සැසිවාර සඳහා භාවිතා කළහැකි වෙඩි තැබීමේ සමාකෘති කිහිපයක් පරිත්‍යාග කිරීම සංකේතාත්මකව සිදුකරන ලදී. එම පරිත්‍යාගය දියතලාව ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් විපුල ඉහලගේ විසින් පිළිගත්තේය.

ඉන් අනතුරුව, ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි සහ පුහුණු පාසල් සේනාවිධායකවරුන් අතර සමරු තිළිණ හුවමාරුවක් සිදු විය. මෙම සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි එම පුහුණු පාසලේ විශේෂ අමුත්තන් සඳහා වු පොතේ සමරු සටහන් ද තැබීය.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැති මෙම උත්සවය සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ආරාධනයකට අනුව ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන පස්දින සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේය.