Header

Sri Lanka Army

Defender of the Nation

14th October 2021 17:22:45 Hours

ගජබා රෙජිමේන්තුවේ 38 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

ගජබා රෙජිමේන්තුවේ අභිමානවත් රෙජිමේන්තු සංවත්සර දිනය ඔක්තෝබර් 14 දිනට යෙදී තිබෙන බැවින් දිවයිනේ සෑම ප්‍රදේශයකම සේවයේ නියුතු ගජබා රෙජිමේන්තු සාමාජිකයින් සිය සංවත්සර දිනය මහත් හරසරින් යුතුව සමරනු ලබයි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලු රෙජිමේන්තු සිය රෙජිමේන්තු දිනයන් අභිමානයෙන් යුතුව සමරනු ලබන අතර එයින් රට ආරක්‍ෂා කිරීම සඳහා එක පවුලක් ලෙස දැක්වූ දායකත්වය පිළිබිඹු කරමින් ඔවුන්ගේ මතයකයන් අවර්ජනය කරයි.

මීට වසර 38 කට ප්‍රථම අද වැනි දිනයක (ඔක්තොබර් 14) ගජබා රෙජිමේන්තුවේ ආරම්භය සිදුවූ අතර ගජබා රෙජිමේන්තු භටපිරිස්හී අසමසම කැපකිරීම් හා ජයග්‍රහණ මෙරට සහ විදේශිය රටවලද පැසසුමට ලක්ව ඇත. බෙදුම්වාදීන් විසින් සිවිල් වැසියන් හා හමුදාව ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රචණ්ඩකාරි හා ම්ලේච්ඡ ප්‍රහාරයන් දිනෙන් දින උග්‍ර වෙමින් පැවති කාල වකවානුවක සතුරාට එරෙහිව නොබියව සටන්වැදීමේ දස්කම්වලින් සමන්විත පාබල ඒකකයන්හී දැඩි අවශ්‍යතාවයක් පැවතියහ. එම අරමුණ සපුරාගැනීමේ අරමුණින් දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්න විසින් 1 වන රජරට රයිෆල් බලකාය සහ 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුව ඒකාබද්ධ කරමින් ගජබා රෙජිමේන්තුව ආරම්භ කරන ලදි.

ගජබා රෙජිමේන්තුවේ ප්‍රථම අණදෙන නිලධාරි ලෙස කටයුතු කළ ලුතිතන් කර්නල් විජය විමලරත්නගේ නායකත්වය යටතේ ‘සමගිය ශක්තියයි’ තේමා පාඨය පෙරදැරිව ‘ගජබා’ යන නාමයෙන් මෙම රෙජිමේන්තුව ස්ථාපිත කළ අතර දල ඇතෙකුගේ ශක්තියට හා යුද කුසලතාවයට අභියෝග කළ හැකි ශාරීරික ශක්තියකින් හෙබි රජෙකු ලෙස විරුධාවලිය ලත් ගජබා රජුට උපහාරයක් වශයෙන් ‘ගජබා’ යන නාමය මෙම රෙජිමේන්තුවේ නාමය වශයෙන් තෝරාගනු ලැබීය.

එම කාලවකවානු තුළ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මූලස්ථානය ස්ථාපිත කිරීම සඳහා ඉඩකඩ සහිත ප්‍රදේශයක් තෝරාගැනීම දිගුකාලීන අවශ්‍යතාවයක්ව පැවතුණි.

1 වන ගජබා රෙජිමේන්තුව ස්ථාපිත කර එම ඒකකය භටපිරිස්වලින් ශක්තිමත් වීමත් සමඟ එම ඒකකයේ දෙවන අණදෙන නිලධාරි ලෙස කටයුතු කළ තරුණ නිලධාරියෙකු වූ මේජර් ගෝඨාභය රාජපක්‍ෂ එහි රෙජිමේන්තු මූලස්ථානය ස්ථාපිත කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ අතර ඒ සඳහා සාලියපුර ප්‍රදේශයේ ස්ථානයක් තෝරාගනු ලැබීය. ඒ වනවිට, 1 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් යාපනය සහ කිලිනොච්චි ප්‍රදේශවල සේවය කරමින් සිටි අතර එම අර්ධද්වීපයේ සේවය කළ එකම බලඇණිය 1 වන ගජබා රෙජිමේන්තුව වීමද විශේෂත්වයකි.

එම රෙජිමේන්තුව සතු අසමසම යුද කුසලතාවයන් නිසා පමණක් නොව, මව්බිමට ජනාධිපතිවරයෙකු, ආරක්‍ෂක ලේකම්වරුන් දෙදෙනෙකු සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානියෙකු හා යුද්ධ හමුදාධිපතිවරයෙකු බිහිකළ එකම රෙජිමේන්තුව වශයෙන් ගජබා රෙජිමේන්තුව ඉතිහාසයට එක්වේ. ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟින් එක්ව සාලියපුර පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති ගජබා රෙජිමේන්තු සංවත්සර දින උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සහභාගී විය.

ගජබා රෙජිමේන්තුවේ ආරම්භයේ සිට වර්ෂ 2009 මැයි මස මානුෂීය මෙහෙයුමේ අවසන් මෙහෙයුම දක්වාම බොහෝ යුද ක්‍රියාන්විත සඳහා සක්‍රීයව දායක වූ රෙජිමේන්තුවක් වන අතර රට ආරක්‍ෂා කිරීම සඳහා පරාර්ථකාමී කැපකිරීම් සිදුකළ රෙජිමේන්තුවක් ද වේ. රටට සාමය උදාකරදීම උදාරතර වෙනුවෙන් අපරිමිත සේවයක නිරත වූ මෙම රෙජිමේන්තුවේ විරෝදාර නිලධාරින් 175 දෙනෙකු සහ සෙසුනිලයින් 4075 දෙනෙකු සිය ජිවිත පූජා කල අතර නිලධාරින් 180 දෙනෙකු සහ සෙසුනිලයින් 4030 දෙනෙකු රණක්‍ෂිතයට පත්විය.

කෝකිලායි (1985), ත්‍රිකුණාමලය, කිලිනොච්චි, වවුනියාව, ඕමන්තේ, පුලියන්කුලම්, කනගරායන්කුලම් සහ මාන්කුලම් ඇතුළු තවත් උතුරේ ප්‍රදේශ කිහිපයක ත්‍රස්තවාදීන්ට එරෙහිව ක්‍රියාත්මක කළ යුද මෙහෙයුම්වල දැක්වූ දක්‍ෂතා හේතුවෙන් ගජබා රෙජිමේන්තුවට ඉහළම මහජන ගෞරවයක් හිමිවෙයි.

එවකට 1 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කළ කර්නල් විජය විමලරත්නගේ අණදීම යටතේ 1 වන සහ 3 වන ගජබා රෙජිමේන්තු දෙක වඩමාරච්චි (1987) මෙහෙයුමේ පෙරමුණ ගෙන දියත්කළ ක්‍රියාන්විතයන් ගජබා ඉතිහාසයේ අමතක නොවන සන්ධිස්ථානයක් ලෙස සදා අමරණියව පවතී. එහි තවත් සුවිශේෂි සිදුවීමක් වනුයේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ද 1 වන ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරියා ලෙස කටයුතු කිරීමයි.

වර්ෂ 1990 ජුනි මාසයේදී යාපනය බලකොටුවේදී දියත්කළ ක්‍රියාන්විතයකදී ත්‍රස්තවාදි ග්‍රහණයේ සිටි 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටයින් මුදවා ගැනීමේ අධිෂ්ඨානයෙන්, 1 වන සහ 4 වන ගජබා රෙජිමේන්තුවල භටපිරිස් ඒකාබද්ධව ත්‍රිවිධ බලය මෙහෙයුම දියත් කරමින්, තම මිතුරු හමුදා සගයින් බේරා ගැනීමට සමත් වූහ. එම මෙහෙයුම සඳහා ද එවකට 1 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කළ ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්‍ෂ සිය සක්‍රීය දායකත්වය ලබා දුන්හ.

එසේම, 1997 මාර්තු මාසයේදී යාපනය නගරයේ සහ තදාසන්න ප්‍රදේශ ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගැනීම සඳහා දියත්කළ ‘ජයසිකුරු’ සහ ‘රිවිරැස’ මෙහෙයුම් මඟින් ගජබා රෙජිමේන්තුවේ භටයින්ගේ සහ යුද්ධ හමුදා භටපිරිස්වල චිත්ත ධෛර්යය ඉහළ නැංවීමට හැකි වූ අතර ඒ සඳහා ද ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සුවිශාල දායකත්වයක් දක්වන ලදී. වර්ෂ 2009 මැයි මාසයට පෙර දියත්කළ 'අකුණු පහර', 'සත් ජය', 'රිවිරැස' මෙහෙයුම් සඳහා ද ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සිය දායකත්වය දක්වන ලදී.

ඒ වනවිට යාපනයේ පිහිටි 21 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කළ ගජබා රෙජමේන්තුවේ නිර්මාතෘ බ්‍රිගේඩියර් විජය විමලරත්න සහ හමුදා යුද ප්‍රවීණයෙකු වන ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සමඟ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිප දෙනෙකු අරාලි තුඩුවේදී රුදුරු ත්‍රස්තවාදී බිම් බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් දැයෙන් සමුගත්හ. ත්‍රස්තවාදය පරාජය කිරිම සඳහා දැක්වූ දායකත්වය හේතුවෙන් ගජබා රෙජිමේන්තුව වෙත වර්ෂ 2007 ජනවාරි මාසයේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් විසින් ජනාධිපති සහ රෙජිමේන්තු වර්ණ පිරිනමන ලදී.

වර්ෂ 2019 අගෝස්තු මාසයේදී ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාධිපති ලෙස පත්වූයේ ගජබා රෙජිමේන්තුවෙන් බිහිවූ පළමු යුද්ධ හමුදාධිපති ලෙස ඉතිහාසයට එක් වෙමිනි. එතුමන් ගජබා රෙජිමේන්තුවෙන් බිහිවූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අතර යුද ක්‍රියාන්විතයන්වල දැක්වූ දස්කම් වෙනුවෙන් වීර වීක්‍රම පදක්කම, රණ වික්‍රම පදක්කම සහ රණ ශූර පදක්කමින් පිදු ලැබු එකම ගජබා රෙජිමේන්තු නිලධාරි ලෙස ද එතුමන් ඉතිහාසයට එක් විය.

තවද, ගජබා රෙජිමේන්තුවේ විශ්‍රාමික කර්නල්වරයෙකු වන ප්‍රථම විධායක ජනාධිපති වන ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ද ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විමද විශේෂත්වයකි.

තවද, ත්‍රස්තවාදීන්ට එරෙහිව පරාර්ථකාමීව සටන් දියත් කළ රණවිරුවෙකු වූ ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අතර එතුමන් ගජබා රෙජිමේන්තුවේ ප්‍රවර්ධනය සඳහා ඉමහත් කැපකිරීමක් කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. ඒ හා සමානව එදා සිට මේ දක්වා ගජබා රෙජිමේන්තුවෙන් ආරක්‍ෂක ලේකම්වරුන් දෙදෙනෙකු බිහි කර ඇති අතර එය ද සුවිශේෂත්වයකි.

ගජබා රෙජිමේන්තුවේ වත්මන් රෙජිමේන්තු අධිපති ලෙස ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරුවේය.

මෙම සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සහ ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන (General Manoj Mukund Naravane) පීවීඑස්එම්, ඒවීඑස්එම්, එස්එම්, වීඑස්එම්, ඒඩීසී සහභාගී වූහ.

අද වනවිට ගජබා රෙජිමේන්තුව වත්මන් තත්ත්වයට ඔසවා තැබීම වෙනුවෙන් කැපකිරීම් සිදුකළ ගජබා රෙජිමේන්තු සාමාජිකයින්ගේ නිර්භීතත්වය සහ වීරත්වයට සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රශංසාව හා ඔවුන්ගේ පැසසුම් ගෞරවාන්විතව හිමිවනු ඇත.

ගජබා රෙජිමේන්තුවේ වීරෝදාර විරුවන්ට ලක්දෙරණේ අභිමානවත් වීර පුතුන් ලෙස ඉදිරියටත් සිය සේවය දේශය වෙනුවෙන් ඉටුකිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා!