Header

Sri Lanka Army

Defender of the Nation

01st October 2021 19:04:27 Hours

72 වන යුද්ධ හමුදා සංවත්සරයට ආශිර්වාද එක්කරමින් විශේෂ කිතුනු දේවමෙහෙයක්

72 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව සිදුකරනු ලබන ආශිර්වාද වැඩසටහනේ තවත් එක් ආශීර්වාද පූජාවක් බ්‍රහස්පතින්දා (30) දින සන්ධ්‍යාවේ බොරැල්ල, සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේදී පැවැත්විණි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී කිතුනු ආගමික වතාවත් සිදුකර යුද්ධ හමුදා සංවත්සරයට ආශිර්වාද එක් කෙරිණි.

කොළඹ අගරදගුරු පදවි සහයක රදගුරු අති උතුම් ජේ.ඩි. ඇන්තනි හිමිපාණන් විසින් පවත්වනු ලැබු මෙම විශේෂ කිතුනු දේවමෙහෙය යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර ඇතුළු එම සංගමයේ සාමාජිකයින් විසින් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ ලේකම් බ්‍රිගේඩියර් ලසන්ත රුද්‍රිගෝ විසින් පිළිගැනීමෙන් අනතුරුව පිළිගැනීමේ කතාව සහ මෙම විශේෂ දේවමෙහෙයේ තේමාව ද පැහැදිලි කරන ලදී.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව හැදින්වීමකින් අනතුරුව, යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමය මගින් සංවිධානය කරනු ලැබු මෙම විශේෂ කිතුනු ආගමික දේවමෙහෙය සහ තුති පුද කිරීමේ උත්සවය ආරම්භ විය.

ශ්‍රී ලංකා බැප්ටිස්ට් සංගමයේ ගරු සංගමාධිපති හේෂාන්ද සිල්වා දේවගැතිතුමා සිය දේශනය සිදුකරමින් යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව පවත්වන මෙම විශේෂ දේවමෙහෙයේ වැදගත්කම පැහැදිලි කළ අතර ඉන් අනතුරුව, සියළුදෙනා හට කිතුනු බැති ගී ගායනා කිරීමට ආරාධනා කළහ.

යුද්ධ හමුදා ධජය සහ අනෙකුත් සියළු රෙජිමේන්තු ධජයන් භටපිරිස් විසින් ඉතා ගෞරවයෙන් රැගෙන විත් අල්තාරය පාමුල රැඳවිමෙන් අනතුරුව, සංකේතාත්මකව යුද්ධ හමුදාධිපතිතුමා ඇතුළු සේවයේ නියුතු සියලු යුද්ධ හමුදා සාමාජිකයන්ට මෙන්ම යුද්ධ හමුදා ධජයට සහ අනෙකුත් සියලු ධජයන්ට දේව ආශිර්වාද පිරිනමන ලදී.

එම අවස්ථාවේදී, ශුද්ධ වු යාඥා මෙහෙය සිදුකරමින් මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්ටත්, යුද්ධයේදී හා අනෙක් අවස්ථාවන්හීදී තුවාල ලැබු රණවිරුවන්ටත්, සේවයේ යෙදී සිටින රණවිරුවන්ටත් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් දේව ආශිර්වාද එක් කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය අගය කරමින් බම්බලපිටිය ශාන්ත මරියා දේවස්ථානයේ, බැප්ටිස් දේවස්ථානයේ, මේතෝදිස්ත දේවස්ථානයේ සහ ඇග්ලිකන් දේවස්ථානයේ දේවගැතිතුමන්ලා විසින් මෙම විශේෂ දේවමෙහෙය සිදුකර කරන ලදී.

කිතුනු ආගමික උත්සවය අවසානයේදී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශුද්ධ වු දේවස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා මුදල් පරිත්‍යාගයක් ද සිදු කළහ.

මෙම අවස්ථාවට ජෙනරාල් දයා රත්නායක (විශ්‍රාමික), යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ සාමාජිකයින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගි වුහ.